කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව තීරණය කළ යුත්තේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුව බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි අවධාරණය කරනවා.
අද (22) දින සති අන්ත පුවත්පතක මුල් පිටුවේ “කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය” යන සිරස්තලය යටතේ පළ වී ඇති පුවත සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි කරුණු පැහැදිලි කරමින් ඉහත සඳහන් ප්‍රකාශය සිදුකර තිබෙනවා.
කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව පාචන තත්ත්වයක් බවට තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.
කාවන්තිස්ස ඇතාගේ මරණයට නිශ්චිත හේතුව තීරණය කළ යුත්තේ අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මත පදනම්ව බවත්, එය අමාත්‍යවරයාට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට තම පෞද්ගලික මතය අනුව තීරණය කළ නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඇතාගේ මරණයට හේතුව පාචන තත්ත්වයක් ද, වෙඩි ප්‍රහාරයක් ද, නැතහොත් වෙනත් හේතුවක් ද යන්න නිශ්චිතව තහවුරු කළ යුත්තේ අදාළ විද්‍යාත්මක හා වෛද්‍ය පරීක්ෂණවල නිගමන මත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා පදනම්ව බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
ඒ අනුව, තම ස්ථාවරය වන්නේ කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව සම්බන්ධයෙන් පෞද්ගලික මත හෝ අනුමාන ඉදිරිපත් කිරීම වෙනුවට විද්‍යාත්මක නිගමන මත පදනම්ව කටයුතු කළ යුතු බව යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.
තමන් සිදු නොකළ ප්‍රකාශයක් තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස වාර්තා කිරීම තුළින් මහජනතාව අතර වැරදි තොරතුරක් මෙන්ම වැරදි මතයක් ද සමාජගත වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
එබැවින්, අදාළ පුවත සම්බන්ධයෙන් අවධානය යොමු කර, එම වැරදි තොරතුර නිවැරදි කිරීමටත්, අමාත්‍යවරයාගේ සැබෑ ස්ථාවරය මහජනතාව වෙත සන්නිවේදනය කිරීමටත්, මුල් පුවතට ලබා දුන් ප්‍රමුඛතාවයට සමාන ප්‍රමුඛතාවයක් ලබා දෙමින් මෙම නිවැරදි කිරීම පළ කිරීමටත් අදාල පුවත්පත කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.










