පසුගියදා පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් නැවතත් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වු ෂෙයික් හසීනා මහත්මිය වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනවා.
ෂෙයික් හසීනා මහත්මිය මෙතෙක් බංග්ලාදේශ ජනතාවට ලබා දුන් දක්ෂ හා දූරදර්ශී නායකත්වය මෙම විශිෂ්ඨ ජයග්‍රහණයට ඉවහල් වූ බවයි ෂෙයික් හසීනා මහත්මිය වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ.
ෂෙයික් හසීනා මහත්මියගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සමීප සහ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත්ව ඉදිරියට පැමිණි බව සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන්.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කර ගනිමින් දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීමට එම සංචාරය ඉවහල් වනු ඇති බවත් සිය සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
පසුගිය සමයේ ෂෙයික් හසීනා මහත්මියගේ පෞද්ගලික මැදිහත්වීම මත බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහාය පිළිබඳව ද සිහිපත් කර ඇති ජනාධිපතිවරයා ෂෙයික් හසීනා මහත්මිය ශ්‍රී ලංකාව සහ ජනතාව කෙරෙහි දක්වන ලැදියාව සහ හිතෛෂීභාවයද කෘතවේදීව අගය කර ඇති අතර බංග්ලාදේශ ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය වෙත නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇයගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය හෘදයාංගම ශුභාශිංසන පළ කර තිබෙනවා




