ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව අද වන විට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් පවතින බව ක්‍රීඩා ලෝලීන්ට රහසක් නොවෙයි.
රටේ රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවට, සංගමයේ ඇතැම් තීරණ පෞද්ගලික වාසි සහ සමාජශාලා බලය වටා ගමන් කරන බවට දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.
සංගමයේ ඉහළ නිලධාරීන්ගේ ඇතැම් තීරණ ක්‍රීඩාවේ සමස්ත සංවර්ධනයට වඩා, සමාජ කණ්ඩායම් කිහිපයකට පමණක් වාසිදායක වන බවට ක්‍රීඩා ලෝකයේ බොහෝ දෙනා අදහස් පළ කරනවා.
විනිසුරුවන්ගේ කටයුතු, තරඟ සංවිධානය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද බරපතල ප්‍රශ්න මතුවී තිබේ. රටේ ගම් මට්ටමේ සිට පළාත් මට්ටම දක්වා රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවට, ජාත්‍යන්තරයේ පෞද්ගලික බලය හා තනතුරු සඳහා වැඩි අවධානය යොමු කර ඇති බවටද විවේචන පවතිනවා.
විශේෂයෙන් කාන්තා රග්බි ක්‍රීඩාව සහ බී කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංවර්ධනය අද වන විට සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙති. එය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතයට බරපතල අනතුරක්.
මේ අතර, මේ සතියේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රීඩා සමාජීය සත් සාමාජික රග්බි තරඟාවලිය සම්බන්ධයෙන්ද විවිධ සැක සහ ප්‍රශ්න මතුව තිබෙනවා.
විදේශීය ක්‍රීඩකයන් ගෙන්වා ක්‍රීඩා කිරීම රග්බි ඉතිහාසයේ අලුත් දෙයක් නොවුවද, එය සාධාරණ හා පැහැදිලි ක්‍රමවේදයකට අනුව සිදුවිය යුතුය. නමුත් මෙම තරඟාවලියේදී අනෙකුත් කණ්ඩායම්වලට එම අවස්ථාව නොලැබී, එක් කණ්ඩායමකට පමණක් විදේශීය ක්‍රීඩකයන් සමඟ ක්‍රීඩා කිරීමට අවසර ලබාදීම පිළිබඳව බරපතල ප්‍රශ්න මතුවී තිබෙනවා.
එමෙන්ම එක්සත් අරාබි එමීර රාජ්‍යයෙන් පැමිණෙන UUDS කණ්ඩායම මෙම තරඟාවලියට සහභාගී වීම සහ ඔවුන් සමඟ විදේශීය ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්‍රීඩා කිරීම පිළිබඳවද ක්‍රීඩා ලෝලීන් අතර දැඩි සැකයන් පවතිනවා.
අනිත් සියලු කණ්ඩායම්වලට විදේශීය ක්‍රීඩකයන් ඇතුළත් කිරීමට නොහැකි බව පවසන අතර, එක් කණ්ඩායමකට පමණක් එම අවස්ථාව ලබා දීමේ සාධාරණත්වය කුමක්ද?
ශ්‍රී ලංකා අන්තර් ක්‍රීඩා සමාජීය තරඟාවලියට විදේශීය කණ්ඩායමක් සහභාගී වීම සඳහා නීතිමය සහ පාලනමය පදනම කුමක්ද?
මෙවැනි තීරණ හේතුවෙන් අද වන විට ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව තව තවත් පසුබැසෙමින් පවතින බව බොහෝ දෙනා පවසනවා.
ගරු ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් යොමු විය යුතු කාලය මෙයයි.
රග්බි ක්‍රීඩාව පුද්ගලයන්ගේ හෝ කණ්ඩායම් කිහිපයකගේ අයිතියක් නොවෙයි.
එය රටේ සියලු ක්‍රීඩකයින්ගේ, ක්‍රීඩා සමාජයන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ ක්‍රීඩාවක්.
එබැවින්, ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාරදෘශ්‍යතාව, සාධාරණත්වය සහ ක්‍රීඩාවේ සැබෑ සංවර්ධනය සඳහා නිසි පියවර ගනු ඇතැයි ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම මෙම තරඟාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ කිහිපයක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවටද තොරතුරු වාර්තා වනවා.



