spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාව නොදකින ආලෝකය

අන්ධකාරයේ විසීමට ප්‍රියැත්තෝ ආලෝකයේ සුවය නොහඳුනති. නමුත් ආලෝකයේ විස්මය දුටු පිරිස් අන්ධකාරයේ ගැඹුර සහ එහි ආදීනව දැන හැකිතාක් ඉන් දුරස්ව වාසය කරන්නට උත්සහ ගනිති. ශුද්ධෝත්තම 14 වෙනි දලයි ලාමා හිමියන් යනු ලෝකයේ ආධ්‍යාත්මික නායකයාණන් ය. ලොවක් උන්වහන්සේගේ දෙපාමුල ගෞරවාදරය පුද කරයි. නමුත් ලොවක් දැන හඳුනන මේ සුචරිතය පිළිබඳ ලංකාවේ අපි නිසි අයුරින් දැනුවත් ද යන්න පිළිබඳ තියෙන්නෙ සැකයක් මෙන්ම දුකකි. එනිසා ම වර්තමානයේ දුක අනාගතයක් සතුටක් වනු යැයි පතා මෙසේ මේ සටහන අකුරු කිරීමට සිතුවෙමි.

ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් පිළිබඳ මගේ පෞද්ගලික කියැවීම වුව ද ආරම්භ වනුයේ ඉතා මෑතකදී ය. ඊට හේතුව අධ්‍යාපන පද්ධතියේ, මාධ්‍යයේ හෝ කිසිඳු සමීප අවකාශයක අපේ කාලයේ මේ චරිතය පිළිබඳ අංශු මාත්‍රයකුදු තොරතුරක් ශ්‍රී ලංකාවේ දී අප හට නොමැති වීමය. එනමුත් ගෙවුණු වසර පහකට ආසන්න කාලයේ සිට උන්වහන්සේ පිළිබඳ අධ්‍යනය කරන්නට මට ලැබුණු සියලු විස්තර සමග උන්වහන්සේ සහ උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ හැදෑරීමට මා යොමු වූවේ නිතැතින්මය.

එවිට මා වටහාගත් දෙය වූවේ උන්වහන්සේ කරුණාව ප්‍රකට කරමින් එය සමාජගත කිරීමට දරන උත්සාහය මෙම ලෝක ප්‍රසාදයට ඇති ප්‍රමුඛතම හේතු සාධකය බවය. ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කළ සුවාසු දහසක ධර්ම ස්කන්ධය අද වන විට ලෝකය පුරා විවිධ හැඩයන්ගෙන්, වර්ණයන්ගෙන් විතරණය වෙමින් විසිරී පැතිරී තිබුණ ද උන්වහන්සේ වදාළ අතිශය ප්‍රායෝගික එම දර්ශන මාර්ගයට අනුව අවසානයේ සියල්ලෝ ම එකම ස්ථානයක නවතින්නෝය. එමග ගමන් කිරීමට ඇත්තේ මහා යානයක් වුවද හීන යානයක් වුවද අවසානයේ සියල්ලෝම නවතිනුයේ එක් නැවතීමක බව උන්වහන්සේ ලෝකයාට පසක් කර දෙති. එමග ඇවිද යාමේ ප්‍රමුඛ තම පියවර කරුණාව බව දලයි ලාමා හිමියෝ අවධාරණය කරති.

උන්වහන්සේගේ ධර්මය කරුණාව ය. පරම ඉගැන්වීම බෝධි චිත්තය ය. බෝධි චිත්තය යනු ආධ්‍යාත්මික පිබිදීම ය. කරුණාව සහ අධ්‍යාත්මික පිබිදීම සේවනය කරන තැනැත්තා බුදුන් දකිනු ඇත. බුදුන් දැකීම යනු භෞතික දර්ශනයක් නොව එය ආධ්‍යාත්මික නිවී සැනසීමකි. එසේ නම් මේ මාර්ගයේ අවසානය නිර්වාණය යන පරම සුවයය. මෙය පසක් වූ දිනයේ පටන් එකම වරක් හෝ උන්වහන්සේ දැකීමට, උන්වහන්සේගේ ඉගැන්වීමක් ඇසීමට මා සිහින දකින ලද වාරයක් සංඛ්‍යාත්මකව ඉතා ඉහළය. එනමුත් කර්මය සහ කුසලානිශංසය විශ්වාස කරන අයෙකු ලෙස මා ජීවිතයේ අවුරුදු 22ක් තරම් කෙටි කලක දී උන්වහන්සේ දක්නට වරම් ලද පළමු වතාවේ දී ම දින පහක්, එනම් සතියක් අඛණ්ඩව උන්වහන්සේ දුටිමි. ඉගැන්වීම් ශ්‍රවණය කළෙමි. අතිශය දුර්ලභ අවස්ථාවක් ලෙස උන්වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක් පවා නියෝජනය කළෙමි. ඒ සියල්ලෙන් ලද අත්දැකීම් මාත්‍රයෙන් මේ සුපිරිසිඳු මාවතේ තනිව ඇවිද ගොස් ඔබ අන්ධකාරයේ තනි කර දැමීම මා හට තරම් නොවන නිසාවෙන් ගත යුත්තක් ඇත්තවුන් උදෙසා මෙසේ ලියා තබමි.

ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඉකුත් දෙසැම්බර් මස අවසන් භාගයේ වැඩ වාසය කරන ලද්දේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයා පුරවරයේ ය. එහි අවසන් දින තුනක උන්වහන්සේ විසින් ඉගැන්වීම් දේශනාවන් පැවැත්වීම් සිදුකළ අතර මුළු බුද්ධගයාව එකම හිස් ගොඩක් කරමින් ලක්ෂ ගණනක් මිනිසුන් ගයාව වසාගෙන සිටින අයුරු මම දුටුවෙමි. එකම හෝටලයක, නිවාඩු නිකේතනයක හෝ විහාරස්ථානයක පවා කාමර පහසුකම් නොමැති තරමට මාසයක් වෙනුවෙන් ම එම සියලු කාමර වෙන් වී තිබුණි.

ආහාර පාන ගැනීමට හැකි සියලු අවන්හල් දිගු පෝලිම් ඇති වන අයුරින් පිරි ගොස් තිබුණි. ඉවසන්නට අපහසු තරමේ දැඩි සීතලක වුව දිවා රෑ නොබලමින් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් උන්වහන්සේ වැඩ සිටි නම්ගල් විහාරස්ථානය අසබඩ කල් ගෙවූහ. උන්වහන්සේ දේශනා පවත්වන කාල චක්‍ර අංගනය හිමිදිරි අලුයමේ සිටම ලක්ෂ ගණනක් දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරෙන්නට ගතවනුයේ ද තත්පර ගණනක කාලයක් පමණි. එම ඉගැන්වීම් සිදුවන අංගනයේ භාෂා පරිවර්තකවරු සිටි වේදිකාවේ මා රැඳී සිටි නිසාවෙන් එය ඉංග්‍රීසි, රුසියානු, ජර්මන්, ප්‍රංශ, ජපන් වැනි භාෂා පනහකට අධික සංඛ්‍යාවකින් පරිවර්තනය වුණ බව මම දුටිමි.

එමෙන්ම ආසියාතික රටවල් සේම බටහිර රටවල් ගණනාවක මිනිසුන් සුදු සේද සලු දෑත දරමින් උන්වහන්සේ වඩින මග දෙපස උන් වහන්සේගේ සිනහව දකින්නට පෝලිම් සැදෙමින් බිම අසුන් ගෙන සිටිනු දුටිමි. මේ සියලු විශ්මයදනවන ආශ්චර්යය පසුපස ඇත්තේ කරුණාක නැමැති තනි වචනයක් ම පමණි. දලයි ලාමා හිමියන්ගේ සිනහවම ලෝකයාට ආශිර්වාදයක් වී ඇත. එහෙත් මේ සුපිරිසිඳු සිනහව විසින් ලෝකයේ මහා කඳුළු ගංගාවක් උසුළා දරා සිටින බව ලෝකයා දන්න මුත් ලංකාව නොදන්නෝ ය.

ආගමික නායකවරයා සිය රාජ්‍ය නායකයා ලෙස භාරගත් රාජ්‍යයක් ලොව තිබුණේ නම් එය ටිබෙටය පමණි. නමුත් අද ටිබෙටය ගැන කතාවන, ලියවෙන තැනක් දැක ගැනීමත් අපහසු තරම්ය. අඩුම තරමේ අපි පරිහරණය කරන මුහුණු පොත, නැතිනම් ජංගම දුරකථනයේ යතුරු පුවරුවේ ඇති (Emoji) සංකේතවල ලොව සියලු රාජ්‍යයන්හි ධජයන් ඇතත් ටිබෙටය එහිවත් නියෝජනය නොවේ. මහජන විනය විසින් ටිබෙටය ආක්‍රමණය කොට ලොව පාරිශුද්ධ රාජධානියක විතැන් වීම සටහන් කළ ද ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ඇතුළු ටිබෙට් වැසියන්ව සහෝදර ඉන්දියාව විසින් පිළිගෙන ඔවුන්ට රැකවරණය සහ ආරක්ෂාව ලබාදීය.

අද වන විටත් ශුද්ධෝත්තම හිමියන් ඇතුළු බොහෝ ටිබෙට් වැසියෝ ඉන්දියාවෙන් තිළිණ කළ ජනපදයන්හි තමන්ගේම ජීවනෝපාය ක්‍රමවේදයන්ට අනුගත වෙමින් දිවි ගෙවති. ඉන්දියාව ලැබුවේ ටිබෙටයෙන් පායා ආ සුයාලෝකය ය. නමුත් ඒ හිරු රැස් අද ටිබෙටයට නොවැටේ. ටිබෙටය ගණ අඳුරේ ය. මේ ටිබෙට් වැසියන්ගේ කඳුළු කතාව වෙනුවෙන් ලොවක් සාක්ෂි දරන නමුත් ලංකාව වුව මීට වඩා මේ සහෝදර රාජ්‍යයන් පිළිබඳ දැනුවත් වීම වටී. විශේෂයෙන්ම කලාව සමග වෙසෙන්නෝ මෙවැනි මාතෘකාවන් සිය නිර්මාණ පොළොවේ රෝපණය කරගැනීම වටින්නේය.

අද ඉන්දියාව විසින් මහා මිණි කැටයක් මෙන් ශුද්ධෝත්තම හිමියන් රැකගනී. රාජ්‍ය නායකයෙකුට හා සමාන ආරක්ෂක පිරිවරක් උන්වහන්සේ වටා ආරක්ෂාවට සිටී. එනමුත් උන්වහන්සේ ඒ කිසිත් බලාපොරොත්තු වන්නේ නැත. සිනහවෙන් පිරී ගිය මුව මඬලින්ම එහිමියෝ පතනුයේ තම ජීවිතයේ අවසන් සුසුම හෙළීමට පෙර සිය දේශය මුදා ගැනීමට ලැබේවා යන්න ම පමණි. ලෝකයේ බොහෝමයක් ධන කුවේර රාජ්‍යයන්ගේ සිට තුනෙන් දෙකක රාජ්‍යයන්හි ප්‍රබලතමයාගේ පටන් සියල්ලෝ ම අද වන විට උන්වහන්සේගේ කරුණා දර්ශනයේ අනුගාමිකයෝ ය. ලොව ප්‍රකට අංක එකේ තරු ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් නැමැති සූර්යයා වටා පායා ඇත. එහෙත් ශ්‍රී ලංකාවට මේ මහා සූර්යාලෝකය මෙතෙක් කල් නොවැටුණේද වර්තමානයේ නොවැටෙන්නේ ද ඇයි ?

ශ්‍රී ලංකාව අනාදිමත් ඉතිහාසයේ පටන් ම ස්වාධීන රාජ්‍යයක් වුවත් මෑත කාලීනව අප චීනයට ඇති ණයගැති බැඳීම අනාගත පරම්පරාවට වුවත් පියවිය යුතු තරමේ බව අපි දනිමු. එහෙත් ණය ගැති බැඳීමකට රාජ්‍යයක් පාලනය කළ හැකි වන්නේ කවර පදනමකින්දැයි සිතීම වඩා යහපත් ය. දලයි ලාමා හිමියෝ කිහිපවතාවකම ශ්‍රී ලංකාව වෙත වැඩම කිරීමට ඉල්ලීම් සිදු කළහ. මා දන්නා තරමින් වරෙක උන්වහන්සේ ඉල්ලීම් කොට තිබුණේ අප්‍රකටව පැමිණ දිනකින් දළඳා වහන්සේ සහ මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන යෑමට අවසර ලබාදෙන ලෙස ය.

එහෙත් ඒ සියලු කාරුණික නිහතමානී ඉල්ලීම් මෙතුවක් කලකට ශ්‍රී ලංකාවෙන් අවසර ලබා නැත. ලොවක ආදරය දිනාගත් මේ මහා පින්වන්ත චරිතය ශ්‍රී ලංකාවට පැමිණීම මෙතරම් ගැටලුවක් වූවේ කෙසේදැයි සිතාගත නොහැකිය. ලොව භූ විෂමතාවෙන් ආර්ථිකයෙන් සේම තවත් නොයෙක් දෙයින් බලවත් දැවැන්තයෙක් වූ චීනය මෙලෙසින් එක් බෞද්ධ භික්ෂුවක් කෙරෙහි බියෙන් සැකෙන් පසුවන්නේ මන්දැයි අප කල්පනා කළ යුතුය.

ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා මේ වෙනුවෙන් ඉල්ලීම් කර තිබූ අයුරු මතකය. කෙසේ නමුදු ඉකුත් දා ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වහන්සේලා නියෝජනය කරන ධූත පිරිසක් උන්වහන්සේ සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී අස්ගිරි පාර්ශවයේ මහනායක ආචාර්ය වරකාගොඩ ඥාණරතනාභිදාන මහනාහිමියන්, රාමඤ්ඤ නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමලාභිධාන නාහිමියන්, මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිත සිරි අභිදාන අනුනාහිමියන් සහ ශ්‍රී ලංකා අමරපුර නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ සභාපති ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහ නාහිමියන්ද ශ්‍රී ලංකාවට වැඩම කරන මෙන් ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් වෙත එක සිතින් ආරාධනාවක් සිදු කළහ. එම අවස්ථාවේ සාක්ෂිකරුවෙකු ලෙස උන්වහන්සේ ඉන් සතුටට පත් වූ ආකාරය මම සියැසින් ම දුටුවෙමි.

මා සිතන අයුරින් 2023 දලයි ලාමා හිමියන්ගේ ලංකාගමනයට සුදුසු වසරකි. ඊට හේතුව උන්වහන්සේගේ කාරුණික ආයාචනය ම පමණක් නොවේ. ශ්‍රී ලංකාව මේ වන විටත් බොහෝ ගැති බවින් සිටීමට එකම හේතුව අප නොව, අපෙන් පසු පරම්පරාවන් පවා ණය ගැතියන් කළ අදූරදර්ශී දේශපාලනයයි. එනිසාම මේ මොහොතේ අපි ගෙවනුයේ ලෝක ප්‍රසිද්ධියට පත් ආර්ථීක අවපාතයකට මුහුණ දුන් කාල සීමාවකි.

ශුද්ධෝත්තම දලයි ලාමා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරන්නේ නම් ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික ගැටලු තරමක් දුරට විසඳෙන බව තාර්කිකව සිතමින් ආසන්න තත්ත්වයන් හදාරන ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. උන්වහන්සේගේ දේශනාවන් පැවැත්වීමට ඇතැම් රටවල ඉඩහසර පවා සීමිත වන විට ලොව ප්‍රකට පාපන්දු පිටි, ක්‍රිකට් ක්‍රීඩාංගණ පවා එකඳු හිස්තැනක් නැති ලෙස පුරවමින් උන්වහන්සේගේ දෙසුම් පවත්වා ඇත. එම දෙසුම් අසන්නට පැමිණෙනුයේ එරට ස්වදේශිකයන්ටත් වඩා විදේශික ප්‍රබලයන් ය.

එනිසා ම උන්වහන්සේගේ මිලියනාධික අනුගාමික පිරිවරේ උදව් උපකාරයන් ද මෙරටට ලැබෙනු ඇත. සංචාරක හෝටල් සහ සියලු අවන්හල්, ලැගුම්හල් අතුරු සිදුරු නැතිව පිරීයනු ඇත. එය මෙරට ආර්ථික නවෝදයකට දෑත් දිගු කිරීමකි. එනමුත් බොහෝ දෙනෙකුට මෙය මවා පෙන්වන සිහිනයක් හෝ ඉන්ද්‍රජාලයක් සේ පෙනෙන්නේ නම් අතේ ඇති දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිස මේ ගැන ඇත්ත ඇති සැටියෙන් සෙවීමට ඇරයුම් කරන්නෙමි.

ශ්‍රී ලංකාවේ අප අන්තර්ජාතික මට්ටම් පිළිබඳ නිතර මුමුණමින් පුරසාරම් දෙඩුවද මේ ලෝකයෙන් බිඳක තරම් දෙයක්වත් ඇතැම් විට අපි නොදනිමු. එහෙත් අසැබි දසුන් පිළිබඳ අන්තර්ජාලයෙන් සොයන්නවුන් අතර අඛණ්ඩව ශ්‍රී ලංකාව ඉහළතාවයක් රඳවාගෙන සිටින පසුබිමක මගේ යුගයේ මගේ තාරුණ්‍යයට හෝ ලෝකයේ මේ සිදුවීම් පිළිබඳ සොයන්නට මා ඇරයුම් කරන්නෙමි. අධ්‍යාපන පෙළ පොතට වුව එකතු නො වූ මේ සුචරිතයන් පිළිබඳ දේශන උත්සව පවත්වමින් දැනුවත් වෙන්නට ඇරයුම් කරමි. නිර්මාණකරුවන්ට මා මේ ලෝකයේ නියමාකාර කඳුළු කතාවන් තිරයට ගීතයට සමීප කරන්නට ඇරයුම් කරමි.

අපේ හාමුදුරුවන් වහන්සේලා ද දලයි ලාමාතුමන්’ යනුවෙන් සිදු කරන අදූරදර්ශී ආමන්ත්‍රණය නවතාගෙන තම ශාසනයේ අවතංස මේ හිමියන් ද ‘දලයි ලාමා හිමියන්’, ‘දලයි ලාමා ස්වාමින් වහන්සේ’ යැයි ඇමතීමේ සිරිතක් ඇති කරගන්නේ නම් යහපත් යැයි යෝජනා කරමි. මහායාන වුවත් හීනයාන වුවත් වජ්‍රයාන වුවත් අප සියල්ලෝම ගමන් ගෙන නවතිනුයේ අවසානයේ එකම නැවතුමක ය. එහෙයින් බෞද්ධ දර්ශනය නැමැති විශ්ව භාෂාවෙන් ලොව අමතන්නට, සන්නිවේදනය කරන්නට බුද්ධියෙන් අප එක්විය යුතු කාලය එළඹ ඇත. දෑස් විවර කොට ලෝකය දකින්නට අප එක්වෙමු.

අන්ධකාරයේ යුගය අවසන් කොට ශ්‍රී ලංකාවේ නව පුනරුද යුගයකට ලෝකයෙන් ගත හැකි සහයෝගයන් ආදර්ශයන් ඇති දැයි සොයා බලමින් තනි තනිව මීට දායක වන්නට වෙහෙසෙමු. අඳුරේ සිට වුවද අපි එළිය දකින්නට වෙහෙස ගනිමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?