රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) නිවැරදි නැහැ

රූපවාහිනී නාලිකා ශ්‍රේණිගතකිරීමේ ක්‍රමය (Rating) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී ආකාරයකට සිදුවන්නක් බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 2019, 2020 සහ 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනූෂ පැල්පිට මහතා සඳහන් කළේ රේටින් ලබාගැනීම ගණනය කිරීම සඳහා අහඹු ලෙස තෝරාගත් රූපවාහිනී යන්ත්‍ර 400ක පමණ උපකරණයක් සවිකොට දත්ත ලබාගන්නා බවයි.

මෙහිදී ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් පමණ එම ගණනය කිරීම් සිදු කරණ ආයතනවලට මුදල් ලබාදී මෙම උපකරණ සවිකළ රූපවාහිනී යන්ත්‍ර 300ක් පමණ මිලදීගෙන ඇති බවත් මේ නිසා ලැබෙන දත්ත නිවැරදි නොවන බවත් ඒ මහතා පෙන්වා දී තිබෙනවා.

එසේම රාජ්‍ය මාධ්‍ය සඳහා පෞද්ගලික මාධ්‍ය ආයතනවලට වඩා වැඩි වගකීමක් පවතින බැවින් නාලිකා ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියට පැමිණීම අරමුණු කොටගෙනම කටයුතු කළ නොහැකි බවයි හෙතෙම සඳහන් කළේ.

එසේම මාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර වඩාත් සක්‍රීයව ප්‍රවෘත්ති ලබාදීමට දායකත්වය ලබාදෙන මාධ්‍යවේදීන් ඇගයීමේ ක්‍රමයක් සකස්කිරීම සම්බන්ධයෙන්ද කමිටුවේදී සාකච්ඡා කෙරුණා.

තවද මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු ලෙස දක්වා තිබූ කාර්යයන් 18ක වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳවද සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

විශේෂයෙන්ම මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශ හරහා දේශීය තොරතුරු විදේශීය රටවලටත්, විදේශ තොරතුරු මෙරට ජනතාවටත් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කිරීම පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරුණා.

රුපියල් මිලියන 108ක් වැය කර ප්‍රංශයෙන් මිලදීගත් දැනට භාවිතයෙන් ඉවත් කළ තාක්ෂණයක් සහිත නෙගටිව් පට යොදන යන්ත්‍රය සහ පොසිටිව් පට සෝදන යන්ත්‍රය පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ 1999 වර්ෂයේ මෙම යන්ත්‍රය මිලදීගෙන ඇති බවත් මේ වන විට මෙම තාක්ෂණය යල් පැන‌ගොස් ඇති බවයි. එසේම මෙම යන්ත්‍රය එක් වරක් හෝ භාවිතයට ගෙන නොමැති බවත් එය චීනච්චට්ටිවලින් නිපදවා ඇති බැවින් යකඩවලට විකිණීම හෝ කළ නොහැකි බවත් නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

එසේම ස්වාධීන රූපවාහිනී සේවය සහ ජාතික රූපවාහිනී සංස්ථාව ලාබ ලබන තත්ත්වයට පත්කිරීම පිළිබඳව ද, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
9
+1
1
+1
1
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !