රන්ජන්ගේ දෙවැනි නඩුව කල්යයි

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෙවන අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ලබන 25 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෙයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් වගඋත්තරකාර රංජන් රාමනායක මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එම අවස්ථාවේදී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණය වෙත කොන්දේසි විරහිතව සිය කනගාටුව පළ කිරීමට තම සේවා දායකයා අපේක්ෂා කරන බව දැනුම් දුන්නා.

එම ප්‍රකාශය තුළින් අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොතිබූ බව සිය සේවාදායකයා විසින් ප්‍රකාශ කරන බවත් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.

මේ සම්බන්ධයෙන් ලබන 25 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අධිකරණය විසින් ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නා.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයා රඟපෑ ද්විත්ව චරිතයක් සහිත චිත්‍රපටයක මංගල දර්ශනය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතව තිබෙන බවත් ඊට තම සේවාදායකයා සහභාගී කරවන ලෙස බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරුවරයා වගඋත්තරකරු සිර දඬුවම් නියම වී සිටින්නේ මෙම නඩුවට නොවන බව සඳහන් කළා.

එබැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා බන්ධනාගාර නීතීන්ට අනුව කටයුතු කිරීමට වග උත්තරකරුට සිදුවන බවත් පෙන්වා දුන්නා.
.
2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වූයේ යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !