AFC Banner
Empty Ad
Empty Ad

රට වටේ අලෙවි වූ දැරියගේ සිදුවීම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

දොස්තරට වැඩ වරදියි

මේවන විට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන නාවික හමුදා ශ​ල්‍ය වෛද්‍යවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිද්ධියට අදාළව සිදු කෙරෙන විමර්ෂණ කටයුතු හා අධිකරණ ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා මෙම පියවර ගත් බව යි.

ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට නාවික හමුදාපතිවරයා කටයුතු කළ බව ද එහි සඳහන්.

එමෙන්ම අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත නාවික හමුදාපතිවරයාගේ නියෝගයෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද පැවැත්වෙන බව යි.

නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් කිසිදු ආයතනයක් වෙත ඇතුළු වීමට ද අදාළ වෛද්‍යවරයාට අවසර හිමි නොවන බව ද ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. 

දැරිය ලිංගික කටයුතු සඳහා මිලට ගත් බව පැවසෙන අදාළ වෛද්‍යවරයා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් වුණු මෙම වෛද්‍යවරයාත් සමග මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් ගණන 32ක්.

හිටපු ඇමතිත් මාට්ටු

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිනෙන් දින නව තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

දැරිය මිලට ගෙන ඇය සමග ලිංගික ක්‍රියාවන්හි යෙදුණු මාලදිවයින් ජාතිකයෙකු ද පසුගිය 04 වැනි දා අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළ අතර ඔහු මාලදිවයිනෙහි හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු බවට යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

මොහමඩ් අශ්මාලී නමැති 45 හැවිරිදි මොහු එරට රජයේ මුදල් රාජ්‍ය අමාත්‍යධූරය හොබවා ඇති බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු මාලදිවයිනේ ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගමක්වන “Dhiraagu” හි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති බව ද සඳහන්.

ඔහුත් සමග පෙරේදා අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර, අදාළ මාලදිවයින් හිටපු අමාත්‍යවරයාට දැරිය සමග ලිංගිකව හැසිරීම සඳහා නවාතැන් පහසුකම් ලබා දුන් කොළඹ ප්‍රදේශයේ හෝටලයක කලමණාකාරවරයෙකු ද සිටිනවා.

ඊට අමතරව ලිංගික සේවාවන් සඳහා දැරිය අලෙවි කිරීම පිණිස දැන්වීම් පළ කිරීම සඳහා භාවිත කෙරුණු වෙබ් අඩවියක හිමිකරු සහ එහි මූල්‍ය කලමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ද පෙරේදා අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

දැරිය මිලට ගත් පිරිස තවත් ඉහළට

මේවන විට මෙම සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් 32ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.

දැරියගේ මව ද ඒ අතරට ඇතුලත්.

මීට පෙර අත්අඩංගුවට පත් පිරිස අතර මෙරට නම ගිය ව්‍යාපාරිකයින්, භික්ෂූන්වහන්සේ සහ දේශපාලනඥයින්ගේ නම් ද සඳහන් වූවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මිහින්තලය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද එම පිරිස අතර වූ අතර ඔහු පසුව අත්අඩංගුවට පත් වුණා.

ඔහුගේ පක්ෂ සාමාජිකත්වය වහාම අහෝසි කිරීමට යි පොදුජන පෙරමුණ ක්‍රියා කළේ.

දැරිය ගැන දැන්වීම් පළ වූ වෙබ් අඩවි හඳුණාගැනේ

මෙම දැරිය ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීම පිණිස දැන්වීම් පළ කිරීමට යොදාගත් වෙබ් අඩවි හඳුණාගැනීම සඳහා ද පොලීසිය විමර්ශනය කරමින් සිටිනවා.

මේවන විට සිදු කර ඇති විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දැරිය අලෙවි කිරීම සඳහා වෙබ් අඩවි 4ක දැන්වීම් පළ කර ඇති බවට යි.

එම වෙබ්අඩවි කිහිපයක පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර එවැනි තවත් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක යි. 

තවත් 12ක් පොලීසියෙන් සොයයි

ලිංගික ක්‍රියා සඳහා අලෙවි වූ මෙම දැරියගේ සිද්ධියට සම්බන්ධ තවත් 12 දෙනෙකු පමණ හඳුණාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.

ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය විසින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කර තිබුණේ පසුගිය ජුනි මස 07 වැනි දා යි.

දැරියට ලක්ෂ ගණනක මිලක්

අදාළ දැරිය ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ රඳවාගෙන මෙම ජාවාරම සිදුකර ඇති අතර එම නිවෙස සඳහා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ගෙවා ඇති කුලී මුදල රුපියල් 65,000ක්.

එම නිවස තුළ දැරිය රඳවා ඇයගේ ඡායාරූප අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ කරමින් සහ සමාජ ජාල ඔස්සේ දැරිය පිළිබඳ දැන්වීම් පළ කරමින් ඇයව මුදලට විකුණා ඇති බව යි පැවසෙන්නේ.

ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන් වෙත දැරිය අළෙවි කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ ගණනින් මුදල් අය කිරීමට අදාළ පුද්ගලයා ක්‍රියා කර ඇති බව සඳහන්.

විනාඩියකට 1000යි

මූලික විමර්ශන මගින් අනාවරණය වී තිබෙන්නේ මෙම වසරේ (2021) ජනවාරි මාසයේ සිටම මොහු විසින් මෙම ජාවාරම සිදුකර තිබෙන බවයි.

එමෙන්ම දැරිය වෙනුවෙන් අන්තර්ජාලයේ වෙබ් පිටු සකසා ඇති මොහු එය හරහා දැරිය ප්‍රසිද්ධ කර තිබෙනවා.

ලිංගිකව හැසිරීම සඳහා දැරිය අලෙවි කිරීමට අමතරව ඇය නිරුවත් කොට අදාළ වෙබ් පිටුව හරහා ඇයගේ සජීවී දර්ශන වීඩියෝ ඇමතුම් මගින් පෙන්වීමේ ව්‍යාපාරයක් ද මොහු විසින් සිදු කරගෙන ගොස් ඇති අතර එම වීඩියෝ දර්ශන සඳහා විනාඩියකට රුපියල් 1000 බැගින්, විනාඩි 10කට රුපියල් දසදහසක් ලෙස මුදල් අය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දැරියගේ මව ලක්ෂ 21කට විකිණිලා

මේ අතර වැඩිදුර විමර්ශනවලින් තවදුරටත් හෙළිදරව් වී ඇත්තේ, මෙම නීතිවිරෝධී ව්‍යාපාර සඳහා යොදවාගත් දැරියගේ මව ද මෙලෙසින්ම ලිංගික ජාවාරම් සඳහා යොදා ගැනීමට සැකකරු මීට පෙර ක්‍රියා කර ඇති බවයි.

දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දැරියගේ මව මේවන විට 31 හැවිරිදි වියේ පසුවන රූමත් කාන්තාවක් බවත්, සැකකරු විසින් එක් අවස්ථාවක දී ඇයව රුපියල් ලක්ෂ 21කට ධනපතියෙකු වෙත අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා. ආකාරයෙන් අවස්ථා රැසකදී රුපියල් ලක්ෂ ගණනකට විවිධ පුද්ගලයින් වෙත ඇයව ද අළෙවි කොට ඇති බවයි මේවන විට හෙළි වී ඇත්තේ.

මවත් සම්බන්ධයි

මේ අතර මෙම තැනැත්තා වෙත දැරිය භාර දී ඇත්තේ ද ඇයගේ මව බව ද මේවන විට අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව දැරිය විවිධ පුද්ගලයින් වෙත විකිණීමේ ජාවාරමට ඇය ද සම්බන්ධ බවට අනාවරණය වූවා.

ඒ පිළිබඳව ද පුළුල් විමර්ශනයක් මේවන විට ආරම්භ වී ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

feb16f50d554dee16f0fe1ebcb0e90ae

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?