වාලච්චේන කඩදාසි කම්හල වැසී යාමේ තත්ත්වයකට ඉඩ නොතබා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අදාළ අමාත්‍යවරුන්ට සහ ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පැවසුවා.
ජාතික කඩදාසි සමාගමේ 2013, 2014 සහ 2015 වසරවලට අදාළ වාර්ෂික වාර්තා පසුගිය (20) වනදා ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සැලකිල්ලට ගත් අවස්ථාවේ දී කාරක සභා සභාපතිවරයා මේබව කියා සිටියා.
වාලච්චේන කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර 1956 වසරේ ගෙන්වන ලද ඒවා බැවින් මෙහි අලුත්වැඩියාවන් සඳහා ඇමරිකනු ඩොලර් මිලියන 1.2ක් අවශ්‍ය බවත් භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන නොලැබුණු බැවින් මෙය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ද එම භූමිය සංචාරක ව්‍යාපාරය සදහා වෙන් කරන ලද බැවින් ඒ සඳහා අනුමතිය නොලැබුණ බවද කර්මාන්ත අමාත්‍යාංශයේ ලෙකම්තුමිය මෙහිදී කියා සිටියා.
ඇමරිකනු ඩොලර් මිලියන 1.2ක් වියදම් කොට කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර අලුත්වැඩියාව සිදු කරන්නේ නම්, දිනකට ටොන් 5 බැගින් නිෂ්පාදනය සිදුකොට මාසයකට රු. මිලියන 22ක ලාභයක් ලැබිය හැකි බව ද මෙහිදී අනාවරණය වුණා.
අක්කර 340ක වපසරියක පැතිරී ඇති මෙම සම්පූර්ණ භූමිය සංචාරක කලාපයක් සඳහා නොගෙන ඉන් කොටසක් පමණක් ඒ සඳහා සලකා බැලීමේ හැකියාව ඇති බව ද මෙහිදී සාකච්ඡා වුණා.
වාලච්චේන කඩදාසි කම්හල වැසෙන තත්ත්වයට පත්වුවහොත් විකිණීම වෙනුවට රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම වැදගත් බැවින් ඒ සඳහා කාරක සභාවේ නිර්දේශය මුදල් සහ කර්මාන්ත අමාත්‍යාංශවලටත් ගරු ජනාධිපතිවරයාටත් යොමු කරන බව කාරක සභා සභාපතිවරයා පැවසුවා.
එසේම සංචාරක කර්මාන්තයමතම යැපීම වෙනුවට රටේ කර්මාන්ත දියුණු කරමින් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව ද කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් නිෂ්පාදන අංශයේ දායකත්වය 15%ක් පමණක් බවත් දියුණු රටක මෙම අගය 30%ක අගයක් බවත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරිය පෙන්වා දුන් අතර මෙරට සමස්ත භූමියෙන් කර්මාන්ත සඳහා වෙන්ව ඇති භූමි ප්‍රමාණය සියයට 0.04ක් බවත් එය සාමාන්‍යයෙන් දියුණු රටක සියයට 3ක අගයක් ගන්නා බවත් ඇය කියා සිටියා.
එසේම සම්භාණ්ඩ කර්මාන්තය සඳහා විශේෂිත කලාපයක් නොමැති වීමේ ගැටලුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර කර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍ර ද්විත්වයේම දියුණුව සැලකිල්ලට ගෙන සැලසුම් සකස් කළයුතු බව පෙන්වා දුන්නා.
එසේම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාව සැලකිල්ලට ගනිමින්, මෙරට බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ දුර්වලතා පිළිබඳව ද මෙහිදී කාරක සභා සභාපතිවරයා අවධානය යොමු කළා.
විශාල ආදායම් සහිත පුද්ගලයන් බදු දැලෙන් රිංගා යාමත් අඩු ආදායම් සහිත ජනතාවගෙන් බදු එකතු කිරීමත් අනුමත කළ නොහැකි බව කාරක සභාව පෙන්වා දුන් අතර බදු ප්‍රතිපත්තිය පිළිබඳ මීට වඩා පුළුල් අධ්‍යයනයක් සිදු කොට අදාළ යාන්ත්‍රණය විධිමත් කරන ලෙස ද උපදෙස් දුන් අතර දේශීය ආදායම් පනත සංශෝධන විය යුතු බවත් ඒ සදහා මුදල් අමාත්‍යාංශය ඇතුළු නිලධාරීන් මූලිකත්වය ගත යුතු බවත් කාරක සභා විසින් අවධාරණය කර සිටියා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතිය සමඟ ඉඩම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන ලෙස නිර්දේශ ගණනාවක් ලබා දුන්නද මේ වන තෙක් එය ඉටුකර නොතිබීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කළා.
එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තාවකාලික වැට් අංකය ලබා දීම නිසා රජයට විශාල බදුමුදලක් අහිමි වන බව ද ඔහු පැවසුවා.
මීට අමතරව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාව, HDFC බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව, වෙළඳ අමාත්‍යාංශයේ 2022 කාර්ය සාධන වාර්තාව, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ 2021 වසර සදහා වාර්ෂික වාර්තාව, සමූපාකාර සේවක කොමිසමේ 2022 කාර්ය සාධන වාර්තාව, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාව සහ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ 2021 වසර සදහා වාර්ෂික වාර්තාව සළකා බැලීමද මෙහිදී සිදුවුණා.