මේ මස මුල් සතියේ තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් පිරිසක් මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බෝතලයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු එම යාත්‍රාවේ සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත් වූ දෙදෙනා අතර යාත්‍රාවේ ස්කීපර්වරයා ලෙස කටයුතු කළ පුද්ගලයා ද වන බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම දියර වර්ගය පානය කළ යාත්‍රාවේ සිටින තවත් ධීවරයින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි තංගල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.
බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (29) දින තංගල්ල මූලස්ථාන පොලිසිය වත පැමිණිලි කර ඇති අතර, අදාළ ධීවර යාත්‍රාව මේ වනවිට නාවික සැතපුම් 320ක් දුර ගැඹුරු මුහුදේ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර නාවික හමුදාව සඳහන් කළේ නාවික හමුදා වෛද්‍ය කණ්ඩායම් ධීවර යාත්‍රාව හා දුරකථන සංඥා මාර්ගයෙන් සම්බන්ධ වී ඔවුන්ට වෛද්‍ය උපදෙස් ලබාදීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
ඊට අමතරව මෙම ධීවර යාත්‍රාව පිහිටි මුහුදු සීමාව ආසන්නයෙන් ගමන් ගන්න නාවික යාත්‍රාවලට ද මේ සම්බන්ධයෙන් දැනුම්දීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.