70 හැවිරිදි මිත්තණියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ මුණුපුරා අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත, නිහිලුව ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි මුණුපුරායි.
අදාළ මිත්තණිය පසුගිය 17 වනදා හදිසියේම නිවසේ දී මියගොස් ඇති අතර, ඇය වසර කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් සිට ඇති බවයි වාර්තා වන්නේ.
සිය මිත්තණියගේ මරණය සම්බන්ධයෙන් 15 හැවිරිදි මුණුපුරා ග්‍රාමසේවකට පවසා ඇති අතර, එහිදී ග්‍රාමසේවකවරයා මරණය සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දෙන ලෙසයි මුණුපුරාට පවසා ඇත්තේ.
එම උපදෙස් අනුව මුණුපුරා සිය මිත්තණියගේ මරණය පිළිබඳව බෙලිඅත්ත පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
මේ අතර මියගිය මිත්තණියගේ නිවස ආසන්නයේ පිහිටි තවත් නිවසක පසුගිය 30 වනදා සිදු වූ සොරකමක් සම්බන්ධයෙන් මෙම මුණුපුරාගෙන් පොලිසිය පසුගිය දා ප්‍රශ්නකර තිබෙනවා.
එහිදී තමන් විසින් එම නිවසින් රන් භාණ්ඩ සොරකම් කළ බවට පිළිගෙන ඇති මුණුපුරා, තම වයෝවෘද මිත්තණියගේ ගෙළේ තිබූ රන් මාලය ද සොරාගත් බවයි පොලිසිය හමුවේ පවසා ඇත්තේ.
මුණුපුරා විසින් පොලිසිය හමුවේ මෙම කරුණු හෙළිකර ඇත්තේ මිත්තණිය මියගොස් ඇයගේ අවසන් කටයුතු ද සිදුකිරීමෙන් පසුවයි.
ඒ, අනුව පෙරේදා (26) දිනයේ දී සැකකාර මුණුපුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මිත්තණියගේ මරණය සැක සහිත බැවින් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව එම මෘත ශරීරය හෙට (29) දිනයේ දී යළි ගොඩගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් මුණුපුරා බෙලිඅත්ත ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන අතර, ඔහු එම පාසලේ ශිෂ්‍ය නායකයකු ලෙස ද කටයුතු කරන බවයි වාර්තා වුණේ.




