මහ මඟදී පොලිසියට පාට් දැමූ චන්ඩියා අධිකරණයට (ඡායාරූප)

රථවාහන රාජකාරීයේ නිරත පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ‘අමේෂ් රුවන්ත’ නැමැත්තා අද (09) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මිරිහාන පොලිසිය විසින් අදාළ සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද පෙරවරුවේ ඉදිරිපත් කළ බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරීම සම්බන්ධ චෝදනා ලබා සිටි මෙම පුද්ගලයා ඊයේ (08) මිරිහාන පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.

මාර්ග නීති උල්ලංඝණය කරමින් හයිලෙවල් මාර්ගයේ මෝටර් රථයක් ධාවනය කළ බව කියන මෙම පුද්ගලයා පසුව පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍යයේ සැරිසැරුවා.