මහජනතාවට කඩිනමින් යුක්තිය ඉටුවන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණ බව ජනපති කියයි

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල භෞතික සහ මූල්‍ය ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් සහ 2027 අයවැය යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

අධිකරණ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය පිළිබද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මහජනතාවට කඩිනමින් යුක්තිය ඉටුවන අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අරමුණ බවත්, ඒ සඳහා අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව කොළඹ මහාධිකරණ සංකීර්ණය, අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය, ගාල්ල, මාතලේ, කන්තලේ ඇතුළු නව අධිකරණ සංකීර්ණයන්හි ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

එමෙන්ම 2022 ආර්ථික අර්බුදය හමුවේ අතරමග නැවතුණු විනිසුරු නිල නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද අවධානය යොමු කෙරුණා.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 79ක වියදමින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව යටතේ මිලියන 38ක වියදමින් ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී සාකච්ඡා වුණා.

මේ වන විට ඉතා වැදගත් සහ ප්‍රමුඛ කාර්යභාරයක් පැවරී ඇති නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය සහ තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමෙන් එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වුණා.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණු අතර මිලියන 635ක ප්‍රතිපාදන යොදා ගනිමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බවත්, එම ප්‍රමාණය මිලියන 701 දක්වා ඉහළ යා හැකි බවත් නිලධාරීන් පෙන්වා දුන්නා.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහා අවශ්‍ය විද්‍යාගාර පහසුකම් ලබා දීමට අදාළව ඇණවුම් කරන ලද උපකරණ අගෝස්තු මාසයේදී ලැබෙනු ඇති බවද මෙහිදී සඳහන් කෙරුණු අතර මසකට ලබා ගන්නා රසපරීක්ෂක වාර්තා සංඛ්‍යාව 9,000 දක්වා ඉහළ නංවා ගැනීමේ සැලසුම් පිළිබඳවද සාකච්ඡා වුණා.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නා.

2026 අයවැය ප්‍රතිපාදනවලින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ වැඩිම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වන අතර, මිලියන 5627ක ප්‍රාග්ධන වියදම් යටතේ සිදු කෙරෙන ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය, නවීන තාක්ෂණික උපකරණ සහ වාහන මිලදී ගැනීම, මෘදුකාංග පද්ධති සංවර්ධනය ඇතුළු කටයුතුවල ප්‍රගතියද සමාලෝචනය කෙරිණි. බන්ධනාගාර නිලධාරීන්ගේ පහසුකම් තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ඉංජිනේරු ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීම් සිදු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල මූල්‍ය ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර පොලීසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව ආදී ආයතන කිහිපයක් යටතේ සිදු කෙරන පුනරුත්ථාපන වැඩසටහන් ඒකාබද්ධ කර එක් ආයතනයක් යටතේ සිදු කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ හැකියාවද සාකච්ඡාවට ලක් වුණා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වන සමථ මණ්ඩල කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලය සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානිපූර්ණය සඳහා වන කාර්යාලය සහ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ආදි ආයතනවල කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර එහි පවතින සංකීර්ණතා සැලකිල්ලට ගනිමින් දැනටමත් ඩිජිටල්, සෞඛ්‍ය සහ ආරක්ෂක ආදී ක්ෂේත්‍ර සඳහා වෙනම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සකස් කිරීමට උපදෙස් ලබා දී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන ද, මුදල් අමාත්‍යාංශයේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30