බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය ජනවාරි 29 දින ගනේමුල්ල පොලිස් වසමේදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 ග්‍රෑම් 423ක් සහ මත්පෙති 3450ක් සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සැකකාරියගේ ස්වාමි පුරුෂයා සහ පුත්‍රයා ආධාර අනුබල දී ඇති බවටත්, ඔවුන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාව වෙත පලාගොස් සිටින බවටත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
මෙම සැකකාරියගේ ස්වාමි පුරුෂයා සහ පුත්‍රයා නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටියදී පසුගිය 24 වැනිදා ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (28) දින මොවුන් මෙරටට පිටුවහල් කර තිබෙනවා.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපල පැමිණිමේ පර්යන්තයේදී එදින දහවල් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ආධාර අනුබල දීමේ වරදට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 23 හා 57 යන වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන්.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













