අධි තාක්ෂණික අර්ධ සන්නායක නිෂ්පාදනයට අදාළ බුද්ධිමය දේපළ සහ වෙළෙඳ රහස් චීනයට නීතිවිරෝධීව ලබාදුන් බවට සැකපිට, චීන සහ බෙල්ජියම් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු බෙල්ජියම් බලධාරීන් විසින් රඳවාගෙන තිබෙනවා.
52 හැවිරිදි සැකකරු බෙල්ජියමේ Belgan නමැති මයික්‍රොචිප් නිෂ්පාදන සමාගමේ මීට පෙර ජ්‍යෙෂ්ඨ තනතුරක් දැරූ පුද්ගලයෙකු බව එරට නීතිපති බලධාරීන් පවසනවා.
විදුලි වාහන, අභ්‍යවකාශ තාක්ෂණය සහ හමුදා උපකරණ සඳහා භාවිත වන Gallium Nitride – GaN අර්ධ සන්නායක නිෂ්පාදනය Belgan සමාගමේ විශේෂත්වයක් වී තිබුණා.
බෙල්ජියම් බලධාරීන් සැක කරන්නේ Belgan සමාගමේ සේවය කරන අතරතුරම මෙම පුද්ගලයා, එම වර්ගයේම චිප් නිෂ්පාදනය කළ චීන සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කර ඇති බවයි. එම චීන සමාගමට චීන ආයෝජන අරමුදලකින් මූල්‍ය පහසුකම් ලැබී ඇති බව ද විමර්ශකයන් පවසනවා.
ඒ හරහා GaN චිප් නිෂ්පාදනයට අදාළ විශේෂිත තාක්ෂණික දැනුම, බුද්ධිමය දේපළ සහ වෙළෙඳ රහස් විදේශයකට නීතිවිරෝධීව මාරු කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
සැකකරු පසුගිය මැයි මාසයේ බීජිං බලා පිටත්වීමට සූදානම්ව සිටියදී Zaventem ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ දක්වා පූර්ව නඩු විභාග රැඳවුම් භාරයේ පසුවනවා.













