බස් රථයකින් ගල් ඉබ්බන් රැගෙන ගිය අයෙක් පොලිස් දැලේ

කල්මුණේ සිට පුත්තලම දක්වා ලංගම බස් රථයකින් ගල් ඉබ්බන් අටදෙනෙකු රැගෙන යමින් සිටි පුද්ගලයෙක් මනම්පිටිය පොලිසිය විසින් අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, ප්‍රදේශයේ පදිංචි 61 වන වියේ පසුවන පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ ගල් ඉබ්බන් අටදෙනෙක් දමාගෙන මගී ප්‍රවාහන බස් රථයකින් රැගෙන යමින් සිටිය දී එහි සිටි ඉබ්බන් දෙදෙනෙක් කාඩ්බෝඩ් පෙට්ටියෙන් පිටතට පැමිණ බස් රථය තුළ සැරිසරන ආකාරය එහි සිටි මගීන් දැක තිබෙනවා.

එම අවස්ථාවේ අදාළ පුද්ගලයා වහාම ක්‍රියාත්මක වී එම ඉබ්බන් දෙදෙනා වැලිකන්ද ප්‍රදේශයේ දී මඩවලකට දැමීමට කටයුතු කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් බස් රථයේ සිටි මගියෙක් විසින් මේ පිළිබඳව මනම්පිටිය පොලිස් ස්ථානය වෙත දැනුම් දී ඇති අතර, පසුව පොලිස් නිලධාරීන් බස් රථය නවත්වා සිදුකළ පරීක්ෂා කිරීමේ දී කාඩ්බෝඩ් පෙට්ටිය තුළ සිටි ඉබ්බන් 06 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

පසුව පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර, ඔහු අද (26) දිනයේ ගල් ඉබ්බන් හයදෙනා ද සමඟ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්