බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ඉෂ්ටියාක් සදෙක් එම තනතුරින් ඉල්ලා අස් වී තිබෙනවා.
අයි.සී.සීය විසින් බංග්ලාදේශ කණ්ඩායම මෙවර 20-20 ලෝක කුසලානයෙන් නෙරපා හැරීමත් සමඟම ඔහු ඊයේ (24) මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති අමිනුල් ඉස්ලාම් බුල්බුල්ගේ සමීපතම සගයෙකු ලෙස හැඳින්වෙන ඉෂ්ටියාක් සදෙක් සිය ඉල්ලා අස්වීම පිළිබදව දැනුම් දෙමින් ඔහු පවසන්නේ පෞද්ගලික හේතු කිහිපයක් මත මෙම තීරණය ගත් බවයි.
බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ තමන් දැරූ තනතුරට සාධාරණය ඉටු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් පෞද්ගලිකව කණගාටුවක් දැනෙන බවයි ඔහු කියා සිටියේ.
ඉෂ්ටියාක් සදෙක් බංග්ලාදේශ ක්‍රිකට් සංවර්ධන කමිටු සභාපති ලෙස ද කටයුතු කරනු ලැබුවා.
ආරක්ෂක හේතූන් මත බංග්ලාදේශය 2026 පන්දුවාර 20-20 ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාවට යෑම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙවර තරගාවලියෙන් බංග්ලාදේශ කණ්ඩායම නෙරපා හැරීමට අයි.සී.සීය ඊයේ කටයුතු කළා.
ඒ, අනුව ඔවුන් තීරණය කළේ ස්කොට්ලන්තය 2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්කර ගැනීමටයි.



