පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී අනාවරණ වී තිබෙනවා.
ඉදිකිරීම්වල සිදුවී ඇති අක්‍රමිකතා, දුෂණ සහ වංචා සෙවීමට අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද තීරණය වී ඇති අතර මාස 3ක් ඇතුලත එහි වාර්තාව කැඳවීමටයි තීරණය කර ඇත්තේ.
ගිවිසුම් කඩකළ ආචාර්යවරු 63 දෙනෙකුගෙන් රුපියල් මිලියන 25ක් අයකර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙසට කෝප් කමිටුව නියෝග කර තිබෙනවා.
මියගිය මහාචාර්යවරියකගේ සැමියාට රුපියල් මිලියන 7කට අධික මුදලක් නීති විරෝධී ලෙස ගෙවීම පිළිබද වහාම පියවර ගන්නා ලෙසටයි නියෝග කර ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) පේරාදෙණිය විශ්ව විද්‍යාලය කැඳවා තිබුණා.
මෙහිදී පසුගිය මාර්තු 22 වැනි දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම වත්මන් විගණන විමසුම් පිළිබඳව ද අවධානය යොමු වුණා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබුණා.
ඉදිකිරීම්වල සිදුවී ඇති අක්‍රමිකතා, දුෂණ සහ වංචා සෙවීමට අමාත්‍යංශ ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් තෙමසක් ඇතුලත වර්ථාවක් කැඳවයි.
විශ්ව විද්‍යාලය තුළ සිදුකරන ලද ඉදිකිරීම්වලදී අක්‍රමිකතා සිදුව ඇති බවට විගණන විමසුම් පවතින බැවින් එම වංචා දූෂණ සෙවීම සදහා අමාත්‍යංශ ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස කෝප් සභාපතිවරයා නියෝග කළේය. එසේම තෙමසක් ඇතුලත එ් සම්බන්ධ වාර්තාවක් කෝප් කමිටුවට ලබා දෙන ලෙසටත් උපදෙස් ලබාදීම සිදුවිය.
අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක නිලධාරීන් විගණන සහ කළමනාකරණ කමිටු රැස්වීම සදහා සහභාගී වීම පැහැර හැරීම
විගණන සහ කළමනාකරණ කමිටුව වර්ජනය කළ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විධායක නිලධාරින්ගේ අදහස් විමසීමට කමිටුව විසින් අවස්ථාව ලබාදෙන ලදී. හිටපු කමිටු සභාපතිවරයෙකු විසින් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අපහාසාත්මක අයුරින් සැලකීමේ තත්ත්වයක් මුල් කරගනිමින් මෙම රැස්වීම් වර්ජනය කර ඇති බව මෙහිදී අනාවරණය විය. කමිටු සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ මෙවැනි සිද්ධි කෝප් කමිටුවේ සාකච්ඡා කිරීමට තරම් නොවන බවත් විශ්ව විද්‍යාල පරිපාලනය විසින්ම ඍජු ක්‍රියාමාර්ග ගෙන විසදාගත යුතු බවයි. එසේම මෙය වැරදි පූර්වාදර්ශයක්ද වියහැකි බැවින් මේ වර්ජනය පිළිබදව ගන්නා ක්‍රියාමාර්ග වාර්තා කරන ලෙසත් දැනුම් දුන්නේය. එසේම ඉදිරියේදී භාණ්ඩාගාර නියෝජිතයෙකු පත්වීමට නියමිත බැවින් විගණන සහ කළමනාකරණ කමිටුවේ ප්‍රධානියා ලෙස ඔහුව පත්කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නියෝග කළේය.
ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් සම්බන්ධව පියවර ගැනීම
පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අදාළව උසස් අධ්‍යාපනය සදහා විදේශීය විශ්ව විද්‍යාලවලට යොමුව ගිවිසුම් කඩකළ විශ්විද්‍යාල ආචාර්යවරු 63 කගෙන් අයවිය යුතු රු. මිලියන 25 ක මුදලක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවිය. මේ වන විට මෙම ආචාර්යවරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නැති බවද හෙළිවිය. මෙම සිදුවීම් 2010 ට පෙර සිදුවූ බවත් මේ වන විට මෙවැනි අඩුපාඩු සිදුනොවන ලෙස ගිවිසුම් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවත් වි.වි. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය. එසේම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අදාළ ආචාර්යවරයෙක් කූඨ ලේඛන සකසා විදෙස්ගතව ගිවිසුම් කඩකර ඇති බවද මෙහිදී අනාවරණය විය. එසේම 2010න් පසුවද ගිවිසුම් කඩකළ වැඩිම ආචාර්යවරු පිරිසක් ඇත්තේද (122) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බව හෙළි විය. මේ සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සම්බන්ධයෙන් කමිටුවට වාර්තා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කෙරිණි.
අධ්‍යයන සහායක කාර්ය මණ්ඩලය ඇගිලි සළකුණු යන්ත්‍රයේ පැමිණීම සටහන් නොකිරීම
අධ්‍යයන සහායක කාර්ය මණ්ඩලයේ ඇතැම් පිරිස් ඇගිලි සළකුණු යන්ත්‍රයේ පැමිණීම සටහන් නොකිරීම සම්බන්ධව අවධානය යොමුවිය. ඇගිලි සළකුණු යන්ත්‍රයේ පැමිණීම සටහන් කිරීම අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසත් ඒ පිළිබද ප්‍රගතිය සති දෙකක් තුළ වාර්තා කරන ලෙසත් වි.වි. ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියෝග කරන ලදී.
ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා රු. මිලියන 3.2 ක් අයථා පරිහරණය කිරීම
මෙම සිදුවීමට අදාළ පුද්ගලයන් දෙදෙනෙක්ගේ වැඩ තහනම් කර ඇති බවත් එක් පුද්ගලයෙකු විදේශ ගතව ඇති බවත් අනාවරණය විය. මෙම පුද්ගලයන් සේවයෙන් පහකර මේ සම්බන්ධයෙන් නෛතික පියවර ගැනීමට පොලිසියට පැමිණිලි කර ඇති බවත් හෙළිවිය. මෙම මුදල් අයකරගැනීමටත් වැරදි කළ පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබා දීමේ අවශ්‍යතාවත් කමිටුව අවධාරණය කරන ලදී.
මියගිය මහාචාර්යවරියකගේ ස්වාමියාට රු. මිලියන 7කට අධික මුදලක් නීති විරෝධී ලෙස ගෙවීම
විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සේවය කොට මියගිය මහාචාර්යවරියකට හිමි රු. මිලියන 7 කට ආසන්න මුදලක් ව්‍යාජ ලේඛන සකසා විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු ඇයගේ ස්වාමිපුරුෂයා වෙත ගෙවීම සම්බන්ධයෙන් ද විගණකාධිපතිවරයා මෙහිදී කරුණු දැක්වීය. මෙම මහාචාර්යවරියට හිමි රු. මිලියන 3.2 ක සේවක අර්ථසාධක අරමුදලක් ද ඇයට හිමි රු. මිලියන 3.7 ක හිග වැටුප් හා දීමනා සහ සේවක පාරිතෝෂික අරමුදල් ද වශයෙන් අදාළ නීති රෙගුලාසිවලට පටහැනිව ගෙවා ඇති බව හෙළිවිය. 2020 වසරේ සිදුවූ මෙම සිදුවීම ව්‍යාජ ලේඛන සකසා සිදුකළ වංචාවක් බැවින් මේ සම්බන්ධව ක්‍රියාත්මක නොවූයේ මන්දැයි විගණකාධිපතිවරයා කරුණු විමසන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයටත් අපකීර්තියක් ගෙනෙදෙන මෙවැනි සිදුවීම් නැවැත්වීමට පරිපාලනය වහාම මැදිහත්විය යුතු බව කමිටුව විසින් පෙන්වා දෙන ලදී.
තවත් පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක්
රු. මිලියන 7.5 ක වියදමින් ඉදිකරන ලද කලාගාරය වසර 6කට වැඩි කාලයක් නිෂ්කාර්යව පැවතීම, රු. මිලියන 8.3 ක වියදමින් ආරම්භකරන ලද පරිගණක පද්ධතියේ වැඩ වසර 6ක් ගතවුවද අවසන්කර නොතිබීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබදවද මෙහිදී අවධානය යොමුවිය.
විශ්ව විද්‍යාල පාලක සභාවේ අනුමැතිය මත තීරණ ගනු ලැබුවද පාලක මණ්ඩලයට රජයේ මුල්‍ය රෙගුලාසි කිසිවිටකටත් උල්ලංඝනය කිරීමට නොහැකිබව කමිටුව විසින් අවධාරණය කරන ලදී.
මෙම නිර්දේශවල ප්‍රගතිය සමාලෝචනය සදහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය මාස 6කින් නැවත කැදවීමටත් මෙහිදී තීරණය විය.