Empty Ad
Empty Ad
AFC Banner

පිලිප් හියුස් අහිමි ව ගොස් අදට 10 වසරක් – ඔහු වෙනුවෙන් වාර්තාමය චිත්‍රපටයකුත් (වීඩියෝ)

එතෙක් මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවේ සිදු වූ අඳුරුතම දිනයක් ලෙස 2014 වර්ෂයේ නොවැම්බර් 27 හැඳින්විය හැකියි.

ඒ එවකට ඔස්ට්‍රෙලියාවෙන් බිහි වූ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවෙකු ලෙස හැඳින්වෙන පිලිප් හියුස් (Phillip Joel Hughes) මෙලොවින් සමුගැනීමේ ඛේදනීය සිදුවීමට මුල් වූ දිනය හේතුවෙන්.

හියුස් මෙලොව හැරගොස් අදට දස වසරක් පිරෙනවා.

වයස අවුරුදු 25ක් වූ පිලිප් හියුස් 2014 නොවැම්බර් 25 වැනි දින සිඩ්නි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ෂෙෆීල්ඩ් කුසලාන ප්‍රාන්ත ටෙස්ට් තරගාවලිය අතරතුර සීන් ඇබොට් යොමු කළ පන්දුවක් සිය ගෙලෙහි වැදීමෙන් සිහිසුන්ව බිමට ඇද වැටෙන අතර ඔහුව කඩිනමින් ශාන්ත වින්සන්ට් රෝහලට ඇතුළත් කළ ද; දැඩි කොමා තත්ත්වයකින් පෙලුණු පිලිප් හියුස් එම වසරේ නොවැම්බර් මස 27 වැනි දින අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වනවා.

සීන් ඇබොට් යොමු කළ දැවැන්ත බවුන්සර් පන්දුව පිලිප් හියුස් පැළඳ සිටි ආරක්ෂක හිස් වැසුමට යටින් වූ පෙදෙසෙහි තදින් ගැටීමෙන් කශේරුකා ධමනි ඡේදනයක් සිදු වී රුධිර වහනයක් අභ්‍යන්තරය තුළ සිදුවීමෙනුයි ඔහු ජීවිතක්ෂයට පත් වන්නේ.

මෙම අවාසනාවන්ත සිදුවීම සමස්ත ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ඉතිහාසයේ සේ ම ජාත්‍යන්තර ක්‍රිකට් වංශ කතාවේ ලියැවුණු සංවේදී ම සිදුවීමක් වන අතර ඔහුගේ ජන්ම දිනය සහ විපත ද නොවැම්බර් මාසයේ යෙදී තිබීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිලිප් හියුස් ව සිහිපත් කරමින් ගුණානුස්මරණ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

සිය පුත්‍රයාගේ ගුණානුස්මරණය වෙනුවෙන් හියුස් පවුලෙන් ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙවැන්නක්..

අද අපගේ වටිනා පුත්‍රයා සහ සහෝදරයා වූ පිලිප් හියුස් අභාවප්‍රාප්ත වී වසර 10ක් සපිරේ.

පිලිප් ප්‍රේමණීය, හාස්‍යජනක අයුරින් ජීවත් වන පුද්ගලයෙක්. ඔහු නිතරම ඉලක්ක කළේ තමා අවට සිටින අයට සිනහවක් ලබාදීම සහ ජීවිතයේ ලැබෙන ඉතා කුඩා දේ භුක්ති විඳීමයි. එහිදී ඔහුගේ සුන්දර සිනහව තමා ජීවත් කළේ. ඔහු දුෂ්කර කාලවලදී පවා දීප්තිමත් ලෙස බැබලුණ කෙනෙක්, එය පුද්ගලයෙකු ලෙස ඔහු කවුරුන්ද යන්න පිළිබඳ සාක්ෂියක්. අපි ඔහු ගැන ඇති සෑම දෙයකටම ආදරය කළෙමු. ඔහු අපේ ජීවිතයේ ආලෝකය විය. පිලිප් තම පවුල කෙරෙහි ගැඹුරු ආදරයක් දැක්වූ අතර ඔහු අවට සිටින සියල්ලන්ටම ගෞරවයෙන් තම ජීවිතය ගත කළ අයෙක්.

කුඩා නගරයක ගම්බද කොල්ලෙක් විදියට ඉපදුණු පිලිප් ඔස්ට්‍රෙලියානු ටෙස්ට්, එක්දින සහ විස්සයි – විස්ස ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස එක් වුණ ද, කිසිමදාක තමන්ට දියුණුවීමට අත දුන් කිසිවෙකු අමතක කළේ නැහැ. ඔහුගේ ලොකුම ආසාව වුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වීම. ඔහු එතරම් ක්‍රීඩාවට ආදරය කළා.

පිලිප් හියුස් වෙනුවෙන් නිල චරිතාපදානයක් එළි දක්වා තිබෙනවා. පිලිප් යනු කවුරුන්ද යන්න පිළිබඳ වැඩි විස්තර බෙදා ගැනීමට එම නිර්මාණය අපට සතුටක්. ඔහුගේ ළමා කාලයේ සිට ඔහුගේ අවසන් උරුමය වන 63 NOT OUT* දක්වා වූ ගමන එහි විස්තර කර තිබෙනවා.

පිලිප්, අපි ඔබට ආදරෙයි, අපට ඔබ නැතුව පාලුයි, අපි ඔබ ගැන සදහටම ආඩම්බර වෙමු. අපි සෑම දිනකම ඔබ ගැන සිතන අතර ඔබ අපගේ වීම ගැන අපි බෙහෙවින් දෙවියන්ට ස්තුතිවන්ත වෙමු. මගේ හොඳම පුත්‍රයා සහ ආදරණීය සහෝදරයා වීම ගැන ඔබට ස්තුතියි..”

(හියුස් පවුල – ග්‍රෙගරි සහ වර්ජිනියා | ජේසන්, ඩැනියෙල්, චාලි සහ බිලී | මේගන් සහ කර්ටිස්) යනුවෙන් එම විශේෂ නිවේදනයේ සඳහන්.

මෙම අසහාය තරුණ ක්‍රීඩකයා සිහිපත් කිරීම වෙනුවෙන් 10 වසරකට පසු ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් මණ්ඩලය මැදිහත් වී වාර්තා චිත්‍රපටයක් ද හියුස් වෙනුවෙන් නිර්මාණය කර ඇත්තේ ‘The Boy from Macksville’ යනුවෙන්.

එමෙන්ම මෙම කර්තව්‍යයට දායක වූ ඔස්ට්‍රෙලියානු සහ එතෙර සිටින සියලු ක්‍රිකට් ප්‍රජාවටත්, රටේ ගොවි ප්‍රජාවටත්, පිලිප්ගේ උපන් ගම වන Macksville ඇතුළු සියලු ම නගරවල ජනතාවටත්, පවුලේ හියුස්ට ආදරය කරන සෑම දෙනාටම ද හියුස් පවුල විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා.

මේ අතර එළඹෙන ෂෙෆීල්ඩ් කුසලාන තරග තුන පුරා ම සමස්ත ක්‍රීඩකයින් හියුස්ට උපහාර දැක්වීම පිණිස අත්වල කළු පටි බැඳ ගැනීමට ක්‍රිකට් ක්‍රීඩකයින් තීරණය කර තිබෙනවා.

පිලිප් හියුස්ගේ අභාවයෙන් වසර 10ක් පිරීම නිමිත්තෙන් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් ධජය අඩකුඹු කිරීමට ද නියමිතයි.

එමෙන්ම පිලිප් හියුස්ගේ ජන්ම දිනය ද නොවැම්බර් මස 30 වැනි දිනට යෙදී තිබීම නිසා එය ද ඔහුට ගෞරවයක් වශයෙන් සිහිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම ෂෙෆීල්ඩ් කුසලාන තරගාවලියේ දී සෑම තරගයකම සිව් වැනි දිනයේ දී ක්‍රීඩා කිරීමට පෙර පිලිප් හියුස්ව සිහිපත් කරමින් මොහොතක නිශ්ශබ්දතාවක් ද පැවැත්වීමට සූදානම් කර ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම මේ දිනවල සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන බෝඩර් ගවස්කාර් ටෙස්ට් තරගාවලියේ දී ද ක්‍රීඩකයින් කළු පටි බැඳ ගනිමින් හියුස්ව සිහිපත් කරනු ඇති.

හියුස් වෙනුවෙන් ඔහුගේ පවුලේ අය සමඟ එක්ව නිර්මාණය කළ වාර්තා චිත්‍රපටය වන ‘The Boy from Macksville’ ඔහු වෙනුවෙන් රූගත කර ඇති අතර, ඉන්දු – ඔස්ට්‍රෙලියා දෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට පෙර එය විකාශය කෙරෙනවා.

පිලිප් හියුස් ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26ක් ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී ඔහු ලබාගෙන ඇති ඉහළතම ලකුණු සංඛ්‍යාව 160ක් වන අතර ඊට ටෙස්ට් ශතක තුනක් සහ අර්ධ ශතක 07ක් ඇතුළත්.

එක්දින තරග 25කට එක්ව තිබෙන හියුස් නොදැවී ලකුණු 138ක් ලබා ගැනීම ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ඉනිමයි.

පිලිප් හියුස්ට ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරගයකට පමණක් ක්‍රීඩා කිරීමට සිය ක්‍රිකට් ජීවිතය තුළ හැකි ව තිබෙනවා.

ටෙස්ට් තරගයක දී සෑම ඉනිමක දී ම ශතක ලාභියෙකු වීම, එක්දින මංගල තරගයේ දී සිය මව්බිම වෙනුවෙන් ශතකයක් ලබා ගැනීම ආදි පිලිප් හියුස් හට හිමිව තිබෙන වාර්තා අතර වනු ඇති.

පිලිප් හියුස් වර්ෂ 1988 නොවැම්බර් මස 30 වැනි ඔස්ට්‍රෙලියාවේ නිව්සවුත් වේල්ස් හි දී උපත ලැබූ අතර ඔස්ට්‍රෙලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට අමතරව ප්‍රාන්ත ක්‍රිකට් අතර ද ඉහළ වාර්තා තැබුවෙක් ලෙස මෙන් ම දක්ෂ කඩුලු රකින්නෙකු ලෙසයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.

පිලිප් හියුස්ගේ මරණය සිදු වන විට එවක ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායකත්වය මයිකල් ක්ලාක් විසින් හොබවනු ලැබුවා.

එමෙන්ම අදටත් ඔස්ට්‍රෙලියානු බොහෝ ක්‍රීඩකයින් පිලිප් හියුස්ව හදවතින් ම සිහිපත් කරන අතර මැතිව් වේඩ් වැනි ක්‍රීඩකයින් තම ආදරණීය සගයාව සිහිපත් වීම පිණිස ඔහුව සිය අත්වල ටැටූ නිර්මාණයක් ලෙස ද සටහන් කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?