පාසල් සිසුවියන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය තහවුරු කිරීමේ අරමුණින් වැඩිවියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන, මෙම වසරේදී ද සියලුම රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල වැඩිවියට පත් මිලියන 1.05 ක් පමණ වූ සිසුවියන් සංඛ්‍යාවක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, එක් සිසුවියකට රුපියල් 1,440/-ක් වන සේ රුපියල් 720/- ක වටිනාකමින් යුත් තිළිණ පත් දෙකක් බැගින් ලබා දීමටත්, සිය අභිමතය පරිදි රුපියල් 120/- බැගින් වූ තුවා 08 ක් සහිත පැකට 12 ක් හෝ රුපියල් 180/- බැගින් වූ තුවා 10ක් සහිත පැකට් 08 ක් වර්ෂය තුළ දී මිල දී ගැනීමට අවස්ථාව සැලසෙන අයුරින් 2026 වසරේදී පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස, අද (24) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
එම යෝජනාව ඊයේ (23) දිනයේ දී, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමිය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය සම්මත වී තිබෙනවා.













