නියමිත කාලය අවසන්ව වසර 35ක් ගත වුවද රජයේ නිල නිවාස නැවත බාර දී නැහැ

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවයේ සිට විශ්‍රාම ගොස් තිබූ නිලධාරීන් 06 දෙනෙක් හා ස්ථාන මාරු ලබා ගොස් ඇති නිලධාරීන් 35 දෙනෙක් තමන් පදිංචිව සිටි නිල නිවාසන් පසුගිය දෙසැම්බර් 31 දින වන විටත් ආපසු බාර දී නොතිබූ බවත් අනවසරපදිංචිකරුවන් තිදෙනෙක් රැඳී සිටින බවත් කෝපා කාරක සභාවේදී අනාවරණය වුණා.

ඒ අතරින් වසර 35 ගත වූවත් ඇතැම් පිරිස් මෙලෙස නිල නිවාසවල තවමත් රැඳී සිටින බවයි වැඩිදුරටත් කෝපා කාරක සභාවේදී අනාවරණය වුණේ.

මෙම කරුණු අනාවරණය වූයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2021 – 2023 වර්ෂයන්හි විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, වර්තමාන කාර්ය සාධනය සහ පසුගිය නොවැම්බර් 25 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පසුගිය 17 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී අදහස් දක්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නියමිත කාලය අවසන්ව නිල නිවාස බාර නොදී සිටින පිරිස් වෙනුවෙන් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර ඇති බව පවසා සිටියා.

කෙසේ වෙතත් කාරක සභා සභාපතිවරයා, නියමිත කාලය අවසන් වූවත් එම නිල නිවාස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත
නැවත පවරා නොගැනීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇති බව අවධාරණය කළා.

ඒ අනුව වර්තමානය වන විට එම නිල නිවාස ආපසු භාර නොදීමට අදාළව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

මෙහිදී 2025 නොවැම්බර් 25 දින පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශවල වර්තමාන තත්ත්වය විමසීමට ලක් කළ අතර එහිදී අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති අතහැර දමා පවතින ව්‍යාපෘති 11ක් සම්බන්ධයෙන් කාරක සභාව නිලධාරීන්ගේ අවධානය යොමු කරනු ලැබුවා.

එහිදී කාරක සභාවට අනාවරණය වූයේ එම ව්‍යාපෘති 11න් 3ක වැඩ ක්‍රියාත්මක බවයි.

එමෙන්ම ව්‍යාපෘති 5ක් සිදු කරන ලද කාර්යයන්හි යම් ප්‍රතිලාභයක් ලබා ගත හැකි අයුරින් පවතින බැවින් අවසන් නොකර නවතා දැමීමටත්, ව්‍යාපෘති 2ක් තුළින් ලැබෙන වාරිමාර්ග ප්‍රතිලාභ අවම බැවින් නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විගණනයට වාර්තා කර තිබෙනවා.

ඒ අනුව නැවත ආරම්භ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව දන්වා ඇති ව්‍යාපෘති 3ක් සඳහා දරන ලද රුපියල් මිලියන 178.12ක මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව කාරක සභාව හමුවේ අනාවරණය වුණා.

එමෙන්ම දැනට වැඩ නැවතී පවතින ව්‍යාපෘති පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට
කාරක සභා සභාපතිවරයා උපදෙස් ලබා දුන්නා.

2012 වසරේදී ආරම්භ කර 2014 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබූ සියඹලාන්ගමුව ඔයේ සිට මහගල්ගමුව වැව පෝෂිත ඇළ ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර වසර 13ක් ගත වී තිබුණද එය නිම කර නොමැති බවද කාරක සභාවට
අනාවරණය වුණා.

මූලික ඇස්තමේන්තුව රුපියල් මිලියන 500ක් වූ මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 375ක මුදලක් වැය වී තිබෙනවා.

එම වැය වූ මුදලින් අපේක්ෂිත ප්‍රතිලාභ මේ දක්වා ජාතික ආර්ථිකයට එක් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය
මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

මේ පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරුණු අතර මෙම ව්‍යාපෘතිය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යම් වරදක් කළ නිලධාරියක් සිටින්නේ නම් අදාළ නීතිමය කටයුතු සිදු කරන ලෙස සභාපතිවරයා උපදෙස් ලබා දුන්නා.

තවද ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාල ප්‍රධාන කාර්යාලය මගින් අධීක්ෂණය වන්නේද යන්න කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා සිටියා.

එම කාර්ය මණ්ඩලවල පවතින හිඟතාවය සහ ප්‍රවාහන ගැටලු හේතුවෙන් නිසි ආකාරයෙන් එම අධීක්ෂණ කටයුතු සිදු කිරීමට අපහසු වී ඇති බව නිලධාරීහු කාරක සභාවට දන්වා සිටියා.

එවැනි අධීක්ෂණයක් නොමැති වූ තැන ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලවල විවිධ විෂමාචාර ක්‍රියාවන් ඇති වන බවත්, එම තත්ත්වය වළක්වා ගෙන කටයුතු කිරීමට කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.

මෙම රැස්වීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් වන රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ, සුනිල් රත්නසිරි, චන්දන සූරියආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, සුසන්ත කුමාර නවරත්න, අජන්ත ගම්මැද්දෙගේ, චානක මාදුගොඩ
යන ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිකිරීම් අමුද්‍රව්‍යයවල මිළ වැඩි කිරීම ගැන ජනතාව කිව්ව දේ..වෙන වෘත්තියක් අපි දන්නෙත් නෑ..
02:32
Video thumbnail
QR ආවත් මොනා ආවත් තෙල් පෝලිමේ නම් අඩුවක් නෑ
01:05
Video thumbnail
පොලිසියට සද්දේ දාපු මාලිමා මන්ත්‍රීට නිලධාරියා සැරටම කිව්ව දේ
05:11
Video thumbnail
ඉරාන තෙල් ලබා ගැනීමේ ප්‍රශ්නය නලින්ද හෙළිකරයි..තෙල් ප්‍රශ්නයක් ෂෙඩ්වල නැහැ
02:36
Video thumbnail
ඩබල් කැබ් ගේන්නේ අහවල් බම්බුවට ද..?
04:44
Video thumbnail
රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?මේක කුණාටු සමයක්..දෙන්න පුළුවන් උපරිම සහන දෙනවා
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
45:47
Video thumbnail
කඩාකප්පල්කාරි වැඩ නිසා නෙවෙයි බස් ගාස්තු වැඩි කළේ..ආයෙත් බස් ගාස්තු වැඩිවෙයිද ?
06:30
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
05:19
Video thumbnail
පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලැබෙන්නේ මෙහෙමයි
01:22