නිධානයක් ගොඩ දැමීමට අවශ්‍ය බව පවසා රුපියල් 21,25,000 ක් වටිනා රන් ආභරණ සොරකම් කළ බව කියන තිදෙනෙක් මෙම මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ආණමඩුව මහේස්ත්‍රාත්වරයා නියමකර තිබෙනවා.
ආඩිගම, ගල්වල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් විසින් පොලීසියට කරඇති පැමිණිල්ලක් අනුව මවක් සහ දියණියක් සහ තවත් පුද්ගලයයෙක් මෙලෙස පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර
තිබුණා.
පැමිණිලිකාරියට අයත් ආඩිගම, කජුවත්ත ප්‍රදේශයේ ඇති නිවසක් කුලී පදනම මත සැකකාර කාන්තාව විසින් ලබා ගත් බවත්, ඉන් දින කිහිපයකට පසු අදාළ නිවස ඇති ඉඩමේ නිධානයක් තිබෙන බවට සැකකාරිය විසින් නිවෙස් හිමි කාන්තාව සමඟ පවසා ඇති බවයි වාර්තාවන්නේ.
එම නිධානය ගොඩ ගැනීමට නම් නිවසේ හිමිකාරියට අයත් රන් ආභරණ එම ගෙවත්තේ වළ දැමිය යුතු බවත්, එසේ නොකරන්නේ නම් පවුලේ කිසියම් අයෙක් මියයන බවද එම තැනැත්තිය විසින් පැමිණිළිකාරියට පවසා තිබෙනවා.
ඒ අනුව තමන් සතුව තිබූ රුපියල් 21,25,000 ක් වටිනා රන් ආභරණ පසුගිය මස 04 වැනිදා තමන් විසින් සැකකාරියට ලබා දුන් බවත්,එම රන් ආභරණ සුදු රෙද්දක ඔතා වළ දැමූ සැකකාරිය, නිධානය ලබා ගන්නා තුරු රන් ආභරණ ගොඩ දැමීමක් කළ හොත් නිවසේ කිසියම් අයෙක් මියයන බවටද පැමිණිලිකාරිය සමඟ පවසා ඇති බවයි වාර්තාවන්නේ.
එසේ රන් ආභරණ වළ දැමූ දිනෙන් පසුව සැකකාරිය සහ එහි සිටි ඇයගේ දියණිය නිවසින් අතුරුදහන් වී ඇති බවයි පැවසෙන්නේ.
ඊයේ (04) දින වළ දැමූ රන් ආභරණ ගොඩ ගැනීමට කටයුතු කළ බවත්,එම රන් ආභරණ ඔතා තිබූ රෙදි කඩ විවෘත කළ විට එහි තිබූනේ සුරයක්,කඹ තහඩුවක් සහ ඉමිටේෂන් වළළු දෙකක් පමණක් බවත්, පැමිණිලිකාරිය පොලීසියට පවසා තිබුණා.
ඒ අනුව සිදුකළ විමර්ශනයන් අනුව ප්‍රධාන සැකකාරිය, ඇයගේ දියණිය සහ තවත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණද සැකකාරිය විසින් වංචා කරන ලද රන් ආභරණ සොයා ගැනීමට මෙතෙක් හැකිවී නැහැ .
පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.





