අගෝස්තු පළවනදායින් පසු පොලිතින් ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය සිදුකරන පුද්ගලයින්ට එරෙහිව අය කරන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දමා තිබෙනවා.
මීට පෙර එම දඩ මුදල රුපියල් 10,000 ක් වූ අතර, අගෝස්තු පළවනදායින් පසු පොලිතීන් සහ ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවිය තහනම් කිරීමත් සමඟ එම දඩ මුදල ඉහළ දැමූ බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
කෙසේ නමුත්, පරිසර හිතකාමී ජෛව හායනික ලන්ච්ෂීට් තවදුරටත් භාවිත කිරීමට හැකි අතර, එම ලන්ච්ෂීට් නිපදවන කර්මාන්තශාලා 8 ක නියෝජිතයින් ඊයේ අමාත්‍ය මහින්ද අමරවීර හමුවී තිබෙනවා.
එහිදී මෙම තීරණය ගෙන ඇති අතර, පොලිතින් හා ලන්ච්ෂීට් නිපදවන සමාගම්වලට මසක සහන කාලයක් ලබාදීමටත් තීරණය කර ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ




