AFC Banner
Empty Ad
Empty Ad

දේශගුණික විපර්යාස අවම කිරීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයන් COP28 සමුළුවේදී ලෝක නායකයන්ගේ ප්‍රසාදයට

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටළු විසඳීමේ තීරණාත්මක වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් “දේශගුණික යුක්ති සංසදය” එළිදැක්වීම COP 28 සමුළුවට සමගාමීව අද (02) සිදු කරනු ලැබුවා.

ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් මහත්මිය (Inger Andersen) සහ උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ඇසිං ජේන් රූත් යන මහත්ම මහත්මීන් ද (Dr. Aceng Jane Ruth) ද එක්ව සිටියා.

“දේශගුණික යුක්ති සංසදය” දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා වූ සාමුහික ප්‍රයත්නයට සියලු පාර්ශ්වයන් ඒකරාශි කර ගනිමින් ඒ වෙනුවෙන් අධිෂ්ඨානශීලිව කැපවීමේ ආරම්භක පියවරක් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේ.

මෙය රාජ්‍යයන්ට පමණක් තනිව ඉටු කළ හැකි කාර්යයක් නොවන අතර මේ වෙනුවෙන් පෞද්ගලික අංශයේ දායකත්වයේ ඇති වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

අලාභ හා පාඩු අරමුදලට වෙන් කර ඇති මුදලට වඩා වැඩි මුදලක් යුක්‍රේනය යුද්ධයටත්, ගාසා තීරයට බෝම්බ හෙළීමටත් වැයකර ඇති බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ දේශගුණය පිළිබඳ ගැටලුවලට මුදල් වෙන් කිරීම වැදගත් බවයි.

දේශගුණික විපර්යාස ඉහළ යාමේ තර්ජනයට ස්ථීර විසඳුමක් ලෙස “දේශගුණික යුක්ති සංසදය” පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ බවත් ඒ සමඟ එක්වන ලෙස තමා සියලු රටවලට ආරාධනා කරන බවත් පැවසූ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාමට පාර්ශ්වකාර රටවල් සමඟ සහයෝගයෙන් එක්වන ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මෙන්ම යුරෝපා සංගමයෙන් ද ඉල්ලීමක් කළා.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ ඉන්ගර් ඇන්ඩර්සන් මහත්මිය අවධාරණය කළේ දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනට අවශ්‍ය ක්‍රියාමාර්ග සහ වර්තමාන ප්‍රයත්නයන් අතර පවතින විෂමතාව පිළිබඳවයි.

දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු අවම කර ගැනීමට සියලු රටවල් ඒකරාශී කිරීමේ ප්‍රබල බලවේගයක් ලෙස මෙම “දේශගුණික යුක්ති සංසදය” කටයුතු කරනු ඇති බව පැවසූ විධායක අධ්‍යක්ෂවරිය “දේශගුණික යුක්ති සංසදය” සාදරයෙන් පිළිගනු ලැබුවා.

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලුවලට සාර්ථකව මුහුණ දීමේදී දේශගුණික යුක්ති සංසදය වැනි මුලපිරීම් ඉතා වැදගත් බවයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා ද මෙහිදී අදහස් දැක්වූවා. දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා මේ වන විට පැවැත්වෙන සාකච්ඡාවලට අමතරව ඉන් ඔබ්බට ඒ වෙනුවෙන් විශාල ප්‍රයත්නයක් දැරිය යුතුව තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. තිරසර අනාගතයක් සඳහා ගෝලීය වේදිකාවකට බලපෑම් කිරීම ඉලක්ක කර ගනිමින් දේශගුණික යුක්තිය සංසදය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ඇතුළත් කරන බව ද විදේශ අමාත්‍යවරයා කියාසිටියා.

උගන්ඩාවේ සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය ඇසිං ජේන් රූත් (Aceng Jane Ruth) මහත්මිය ද දේශගුණික යුක්තිය සංසදය සාදරයෙන් පිළිගත් අතර දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනට ප්‍රබල නායකත්වයක් ලබාදීමට එයට හැකිවනු ඇති බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?