වේයන්ගොඩ පොලිස් වසමේ අත්තනගලු ඔයේ ශාඛාවක්වන දී ඇල් ඔයේ දිය නෑමට ගිය තරුණ යුවළක් දියේ ගසාගෙන යාමෙන් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (07) පස්වරුවේ මෙම තරුණ යුවළ දියනෑමට ගිය අවස්ථාවේ දියේ ගසාගෙන ගොස් මෙලෙස අතුරුදන්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ ළඟදී යුගදිවියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටි 19 හැවිරිදි වියේ පසු වූ තරුණ යුවළක් බවයි තොරතුරු වාර්තා වුණේ.
දියේ ගසාගෙන යාමෙන් අතරුදන්ව ඇති තරුණයා වේයන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, තරුණිය කුඩාඔය, ලබුතැන්න ප්රදේශයේ පදිංචිකාරිණියක්.
අතුරුදන්ව සිටින යුවළ සොයා වේයන්ගොඩ පොලිසිය, නාවික හමුදාව සහ ප්රදේශවාසීන් එක්ව මේ වනවිට මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා.













