AFC Banner
Empty Ad
Empty Ad

ජීවන චක්‍රය මත පදනම් වූ විශ්වීය සමාජ ආරක්ෂණයක් මාලිමාවෙන් ලාංකිකයින්ට – තවත් ව්‍යාපෘති රැසකුත් (නිවේදනය)

ජාතික ජන බලවේගය පිටු 233කින් සමන්විත සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා තිබෙනවා.

අද (26) පෙරවරුවේ දී පක්ෂ නායක ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක විසිනුයි එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබුවේ.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා යන මූලික කුලුණු තුන කේන්ද්‍ර කරගනිමින් රටේ ඉදිරි සංවර්ධනය සිදු කරන ආකාරය සහ ඒ සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති මාලාව වෙන් වෙන් වශයෙන් විස්තර කර තිබෙනවා.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතික ජන බලවේගය විසින් නම්කරනු ලැබ ඇත්තේ ” පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යනුවෙන්.

එහි පළමු පරිච්ඡේදය ‘ පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්’ යන මාතෘකාවට වෙන් කරමින්; ශ්‍රී ලංකාවේ මූලික අඩිතාලම වන දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණය සිදු කරන ආකාරය සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ; දියුණු මානවවාදී හා වගකීම් සහගත පුරවැසි සමාජයක් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳවයි.

එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට රාජ්‍ය ආයෝජන ඉහළ දමන අතර, දළ ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා දැනට වෙන්කරනු ලබන ප්‍රමාණය ක්‍රමයෙන් 6% දක්වා වැඩිකිරීම ජාතික ජන බලවේගය යටතේ එන රජයක ප්‍රධාන අපේක්ෂාව බව ද සඳහන්.

අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ මූලධර්ම අතර නිදහස් අධ්‍යාපනය හා සම ප්‍රවේශය, මානව සංවර්ධනයට සහ සේවා නියුක්තියට අදාළතාව, සියල්ලන්ටම පිළිගත හැකි බව, සමාජයට වග වන පුරවැසියන්, තිරසර බව හා නවෝත්පාදනය හා යාවජීව අධ්‍යාපන ක්‍රමයයි.

එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපනය, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය, ප්‍රාථමික අධ්‍යාපනයේ සිට දුරස්ථ අධ්‍යාපනය තෙක් ගනු ලබන ක්‍රියාමාර්ග නව වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණු කිරීම් වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දෙවැනි පරිච්ඡේදය වෙන් කර ඇති අතර; එහි දැක්වෙන ප්‍රධානතම අපේක්ෂාව වන්නේ නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් බිහිකිරීම සඳහා රෝග නිවාරණය මෙන්ම රෝග වැළැක්වීම අරමුණ කරගත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවයක් ඇති කිරීමට ජාතික ජන බලවේගය අපේක්ෂා කරන බවයි.

ඊට අදාළ ව සෞඛ්‍ය මූලධර්ම පහත දැක්වෙන පරිදි ඉදිරිපත් කර තිබෙනවා.

ජනතාවට ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ භුක්ති විඳීමේ අයිතිය, කිසිදු භේදයකින් තොරව පුරවැසියාට රෝග නිවාරණ සහ ප්‍රතිකාර සෞඛ්‍ය සේවා ලබාදීමට රාජ්‍යය වගවීම,සෞඛ්‍ය ප්‍රවර්ධනය, රෝග වැළැක්වීම හා නිවාරණ සෞඛ්‍ය ප්‍රවර්ධනය, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව සෞඛ්‍ය සේවාවන් හා රෝගීන්ගේ අයිතීන් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් යෝජනා දක්වා තිබෙනවා.

මේ අතර ජාතික ජන බලවේගී ආණ්ඩුවක් යටතේ රටේ මාධ්‍ය පැවැත්ම පිළිබඳ ව ද වෙනම පරිච්ඡේදයක් ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙනවා.

ජනමාධ්‍ය අවභාවිතය වළක්වමින් සුභාවිත ජනමාධ්‍යයක් මගින් සමාජ, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ ගාමක බලවේගයක් ලෙස ජනමාධ්‍යයන් ද, එහි නිරත මාධ්‍යකරුවා ද, එහි බලපෑමට ලක්වන ග්‍රාහක සමාජය ද මෙහෙයවමින්, වඩාත් ප්‍රශස්ත ජනමාධ්‍ය භාවිතයකට අවශ්‍ය තාක්ෂණික පහසුකම්, පුහුණුව, මෙන්ම වෘත්තීය අභිමානය සුරක්ෂිත කරලීම
සඳහා ජාතික ජන බලවේගය කැප වී සිටින බවයි දැක්වෙන්නේ.

මාධ්‍ය ප්‍රතිසංස්කරණ මූලධර්ම යටතේ ජනතාවට සත්‍ය හා නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය, මානවවාදී වගකීම් සහගත මාධ්‍ය කර්මාන්තයක්, ජනමාධ්‍ය නිදහස සහ ස්වාධීනත්වය හා ජනමාධ්‍ය අවකාශය පොදු මහජන දේපළක් බවට පත් කිරීම ද එහි සඳහන්.

ජනමාධ්‍ය ආයතන ඒවායේ ප්‍රවෘත්ති සහ අනෙකුත් වැඩසටහන්වල ගුණාත්මක බව සහ ජනප්‍රිත්වය අනුව ශ්‍රේණිගත කිරීම වඩාත් ක්‍රමවත් කිරීමට විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය අංශ සහ අනෙකුත් ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පහසුකම් සැපයීම, ප්‍රකාශනයේ නිදහසට බාධාවන වගන්තීන් ඉවත්කොට 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත
සංශෝධනය කිරීම, ශ්‍රේණිගත කිරීම සඳහා භාෂාව භාවිතය, සංස්කෘතීන්, ජාතීන් අතර සමගිය හා සංහිඳියාව ප්‍රවර්ධනය, අධ්‍යාපනය හා විද්‍යා ප්‍රවර්ධනය වැනි නව නිර්ණායක හඳුන්වාදීම සහ එම ශ්‍රේණිගත කිරීම් ප්‍රසිද්ධ කිරීම, මාධ්‍ය නිදහස පිළිගනිමින්, දැනට පවත්නා මාධ්‍ය නීති, අණපනත්, සම්මුතීන්, ආචාරධර්ම සමාලෝචනය කර ප්‍රශස්ත මාධ්‍ය ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය සංශෝධන, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සහ ලාංකේය සමාජයට ගැලපෙන නිර්ණායකයන්ට අනුව මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට ආචාරධර්ම පද්ධතියක්, ජනමාධ්‍යය අතර නිදහස් තරගකාරිත්වය ප්‍රවර්ධනය කරමින් පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා, මාධ්‍යවේදීන්, වැඩසටහන්, ලිපි, ජයාරූප වැනි අංග ඇගයීමට ලක්කෙරෙන වැඩසටහන් සිය ක්ෂේත්‍රයන්හි මාධ්‍යකරුවන් ඇගයීමට හා ජන සම්භාවනයට පාත්‍ර කිරීම සඳහා විධිමත් සම්මාන උලෙළක් පැවැත්වීම ආදී ක්‍රියාමාර්ග රැසක් ඇතුළත් වනවා.

මීට අමතරව මාධ්‍යවේදීන්ට අවශ්‍ය කැමරා වැනි උපකරණ මිලදී ගැනීම සඳහා අඩු පොලී ණය පහසුකම් ලබා දීම හා සමස්ත ජනමාධ්‍ය ක්‍රියාවලිය ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාම සඳහා ස්වාධීන ජනමාධ්‍ය කොමිෂන් සභාවක් ඇති කරන බව ද NPP ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්.

රටේ ආර්ථිකය ගොඩනැගීමට ද ජාතික ජන බලවේගය විසින් විශේෂ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ලැබුවා.

එහි දැක්වෙන්නේ; ජාතික ජන බලවේගය සමාජ ආරක්ෂණය සහ සුබසාධනය ප්‍රමුඛ රාජ්‍ය වගකීමක් ලෙස සලකන බවයි.

වත්මන් ආර්ථික තත්ත්වය තුළ ජනගහනයෙන් විශාල පිරිසක් රැකියා, ව්‍යාපාර සහ ආර්ථික අවස්ථා අහිමිව සිටින බැවින් ආර්ථිකය සහ සමාජය යළි ගොඩනැගීම සඳහා පුළුල් සමාජ ආරක්ෂණ වැඩසටහනක අවශ්‍යතාව පවතින බව ද ජාතික ජන බලවේගයේ සමාජ ආරක්ෂණ සහ සමාජ සුබසාධන වැඩපිළිවෙලේ අරමුණ වන්නේ සමාජ සුබසාධන ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස්වල ජීවන තත්ත්වය උසස් කිරීමත්, ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගන්වා හැකි ඉක්මනින් දිළිඳු බැවින් මුදා ආර්ථිකයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කිරීම බවට ද එහි සඳහන්.

ඒ අනුව “සිය ශ්‍රී ලාංකිකයින්ට ජීවන චක්‍රය මත පදනම් වූ විශ්වීය සමාජ ආරක්ෂණයක්” සැපයීම ජාතික ජන බලවේගය රජයක් යටතේ සිදු වනු ඇති.

මේ අතර රටේ සෑම ක්ෂේත්‍රයක් ම එනම්; සංස්කෘතිය, සමාජ, යටිතල පහසුකම්, ආදිය දියුණු කිරීම සම්බන්ධයෙන් ද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැඩිදුරටත් කරුණු දැක්වෙනවා.

ජාතික ජන බලවේගය සම්පූර්ණ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?