ජාතික රක්ෂණභාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු කළමනාකරණ තනතුරු රැසක් මෙන්ම වැඩබලන තනතුරු හෝ පුරප්පාඩු වූ තනතුරු පවතින බවට අනාවරණ වී තිබෙනවා.
ආයතනයේ පරිපාලනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය අතිශය දුර්වල මට්ටමක පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආයතනය වැසීයාමේ තර්ජනයක් පවතින බවටයි හෙළිවී ඇත්තේ.
ඒ අනුව ජාතික රක්ෂණභාර අරමුදලේ පූර්ණ විගණනයකට මුදල් අමාත්‍යාංශ ලේකම්ට බලය පැවරීමට කොප් කමිටුව තීරණය කර තිබෙනවා.
එමෙන්ම ආයතනය විධිමත් ව්‍යාපාරික මොඩලයකට අනුගත කොට සංවර්ධනය කිරීම සදහා ස්වාධීන ඇගයීමක් සිදුකොට දෙමසක් තුළ වාර්තාවක් ලබා දීමටත් උපදෙස් දී ඇතැයි සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව) මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ පවතින ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) කැඳවා තිබුණා.
මෙහිදී ජාතික රක්ෂණ භාර අරමුදලේ 2016 සහ 2019 මූල්‍ය වර්ෂ සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනයට අදාළ පහත සදහන් මූලික කරුණු පිළිබදව විමර්ශනය කිරීමයි සිදු වූයේ.
ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර ඇතුළු ඉහළ කළමනාකරණ තනතුරු වැඩබලන තනතුරු හෝ පුරප්පාඩුව පැවතීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. දැනට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරිය පරිපාලන සේවයේ නිලධාරීනියක් බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.
හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක් පවතින බවත් මෙහිදී හෙළි වූ අතර ඒ අනුව කඩිනමින් එම පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා ලෙසටයි කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේ.
ආයතනයේ පරිපාලනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය අතිශය දුර්වල මට්ටමක පවතින බව කමිටුව විසින් පෙන්වා දෙනු ලැබුවා.
පාරිභෝගික සේවා ඇමතුම් සදහා ප්‍රතිචාර දැක්වීම අතිශය දුර්වලබව පෙන්වා දුන් කමිටු සාමාජිකයෝ ඒ පිළිබද සිය දැඩි අප්‍රසාදය පළ කකළා. ව්‍යාපාර සංවර්ධන කටයුතු සහ අලෙවිකරණය සදහා වෙනම අංශයක් නොතිබීම, ඒකාබද්ධ දත්ත කළමනාකරණ පද්ධතියක් මේ දක්වා ස්ථාපිත කර නොමැති වීම, අවධානම් කළමනාකරණය සදහා නිලධාරියෙක් නොමැති වීම ප්‍රධාන දුර්වලතා ලෙස කමිටුව විසින් පෙන්වා දී තිබෙනවා.
ආයතනයේ මෙකී දුර්වල පරිපාලනය හමුවේ ආයතනය නුදුරේදීම වැසීයාමේ තර්ජනයක් පවතින බවයි කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේ.
එසේම ආයතනයේ ප්‍රධාන ව්‍යාපාරය වන අග්‍රහාර රක්ෂණය සදහා මේ වන තෙක් ප්‍රතිරක්ෂණයක් නොමැති වීම ප්‍රධාන ගැටලුවක් බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.
භාණ්ගාරයේ මුදලින් යැපීම වෙනුවට ආයතනය විධිමත් ව්‍යාපාරික මොඩලයකට අනුගත කොට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කළා.
ව්‍යාපාර සංවර්ධනය , පරිපාලන ක්‍රමවේදය , අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය යනාදී සමස්ත අංශ දුර්වල බැවින් එකි සියලු අංශ ආවරණය වන පරිදි ස්වයං ඇගයීමක් කර මාසයක් ඇතුළත ප්‍රගතිය වාර්තා කරන ලෙසටයි කාරක සභාව දැනුම් දුන්නේ.
තරගකාරී ව්‍යාපාරික ආයතනයක් ලෙස ඉදිරියට යාමේදී භාණ්ඩාගාරයේ මාර්ගෝපදේශයන් බාධාවක් වේ නම් භාණ්ඩාගාරය සමග මේ පිළිබද සාකච්ඡා කර අදාළ මාර්ගෝපදේශයන් වෙනස් කර ගැනීමට කටයුතු කළ යුතු බවද විගණකාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.
රාජ්‍ය සේවකයන්ගේ අග්‍රහාර රක්ෂණ හිමිකම් ලබා දීම දීර්ඝ කාලක් ප්‍රමාදවීම සම්බන්ධයෙන් කාරක සභාවේ දැඩි අප්‍රසාදය මෙහිදී පළ වුණා.
පසුගිය කාලය තුළ අග්‍රහාර රක්ෂණ හිමිකම් ලබා දීම සාමාන්‍යයෙන් මාස 8 – 9 ක කාලයක් ප්‍රමාදවී ඇති බවත් ආයතයේ අකාර්යක්ෂමතාව සහ පරිපාලන දුර්වලතා ඒ සදහා බලපා ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.
දෙසැම්බර් 31 වැනිදා වන විට රක්ෂණාවරණ ලබා දීම් 1,08,000 ක ප්‍රමාණයක් ගොඩගැසී තිබුණු බවත් මේ වන එම සංඛ්‍යාව 60,000 දක්වා අඩු කිරීමට හැකි වූ බවත් වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරීවරිය මෙහිදී ප්‍රකාශ කළා.
මේ අනුව තවත් මාස දෙකක් තුළ මෙම ගොඩ ගැසී ඇති සංඛ්‍යාව අවසන් කරන බවයි ඇය සදහන් කළේ.
මෙම අකාර්යක්ෂම සේවය හේතුවෙන් මහජනයා අතර අග්‍රහාර රක්ෂණය පිළිබද ඉතා නරක ප්‍රතිරූපයක් ගොඩ නැගී ඇති බව කමිටුව විසින් පෙන්වා දෙනු ලැබුවා. එසේම පෞද්ගලිකව විගණකාධිපතිවරයාට ද එම අත්දැකීමටද මුහුණදීමට සිදුවූ බවත් මෙහිදී අනාවරණය වුණා. මෙම තත්ත්වය වහාම වෙනස් කර කාර්යක්ෂම සේවාවක් ලබා දෙන ආයතනයක් බවට පරිපාලනය මෙහෙය විය යුතු බවත් කමිටුව විසින් අවධාරණය කර තිබෙනවා.
1542/11 අංක දරන 2008.03.25 දිනැති ගැසට් නිවේදනය අනුව වැඩවර්ජන, කැරලි ගැසීම්, ජන කැළඹීම් හා ත්‍රස්තවාදී අවස්ථා සම්බන්ධයෙන් රක්ෂණ සමාගම් විසින් නිකුත් කරන සියලුම රක්ෂණාවරණ මගින් ලබා ගන්නා වාරික මුදල් රක්ෂණ භාර අරමුදලට ලබා ගතයුතු බවට නෛතික ප්‍රතිපාදන තිබියදී එසේ නොකිරීම පිළිබදව ද විගණකාධිපතිවරයා කාරක සභාවේ අවධානයට යොමු වුණා.
මෙහිදී රක්ෂණ භාර අරමුදල විසින් එම රක්ෂණ වාරිකවලින් මෝටර් රක්ෂණයෙන් 12% ක්ද මෝටර් නොවන රක්ෂණයෙන් 80% ක ප්‍රතිශතයක් පමණක් අරමුදලට ලබාගෙන තිබෙනවා. මෙම තත්ත්වය 2021 වසරේ නැවත නිවැරදි කළ බවයි නිලධාරීන් ප්‍රකාශ කළේ.
එහෙත් මෙමගින් වසර ගණනාවක් මුුළුල්ලේ ආයතනයට හිමිවිය යුතු රුපියල් බිලියන 51 ක මුදලක් අහිමිව ඇති බවත් මෙහිදී සාකච්ඡා වුණා. මේ අනුව මේ සම්බන්ධයෙන් වගකිවයුතු හිටපු සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවීමට අපේක්ෂා කරන බව පැවසූ කෝප් සභාපතිවරයා මේ සම්බන්ධ පූර්ණ වාර්තාවක් සති දෙකක් තුළ ලබා දෙන ලෙසටයි අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේ.
එසේම මෙම ආයතනයේ පරිපාලනය නගා සිටුවා නිවැරදි මාවතට යොමු කිරීමට මුදල් අමාත්‍යාංශය මැදිහත් වන ලෙසත් ආයතනය නගා සිටුවීම සදහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යටතේ පූර්ණ විගණනයක් සිදුකරන ලෙසටත් උපදෙස් ලබා දීම සිදු වී තිබෙනවා.
එසේම ජාතික රක්ෂණ භාර අරමුදල නැවත මාස දෙකකින් කැඳවීමට ද මෙහිදී තීරණය වුණා.