ජනපති එක්වන බේරුවල රැළිය පැවැත්වෙන කාල සීමාව තුළ ධීවර වරායට ඇතුළුවන බෝට්ටු විශේෂ පරීක්ෂාවකට

“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” තේමාව ඔස්සේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනරැළි මාලාව අද (06) කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වනවා.

ඒ, අනුව මෙම ජනරැළි මාලාවේ මංගල රැළිය බුලත්සිංහල නගරයෙන් ආරම්භවන අතර, එහි දෙවන රැළිය අද (06) බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ජනරැළියේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පියවරක් ලෙස බේරුවල වරාය තුළට ඇතුළුවන සියලුම ධීවර යාත්‍රා විශේෂ පරීක්ෂාවකට ලක්කරන බව පොලිසිය සඳහන් කළා.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ උදය කුමාර සඳහන් කළේ, ජනරැළිය පැවැත්වෙන පස්වරු 5.30ත් 7.30ත් අතර කාලය තුළ දී බේරුවල ධීවර වරාය තුළට ඇතුළුවන සියලුම යාත්‍රා විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි.

බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම ජනරැළිය වෙනුවෙන් එම ස්ථානයෙහි ඉදිකරනු ලබන වේදිකාව ධීවර වරායට බෝට්ටු ඇතුළුවන ප්‍රවේශයට මුහුණලා පිහිටා ඇති බැවින්, රැළිය පැවැත්වෙන කාලය තුළ පිටත මුහුදේ සිට පැමිණෙන ධීවර බෝට්ටු වරාය තුළට ඇතුළුවීම මඟින් ආරක්ෂාව පිළිබඳ ගැටළු සහහක තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ, අනුව අදාළ කාලසීමාව තුළ දී පිටත මුහුදේ සිට පැමිණෙන ධීවර බෝට්ටු වරාය තුළට ඇතුළුවීමට පෙර මෙලෙස විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම කාලය තුළ ධීවර වරායෙන් පිටව යන යාත්‍රා එලෙස පරීක්ෂාවකට ලක් නොකරන බව යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ උදය කුමාර සඳහන් කර සිටියා.