මෙතෙක් කල් විධායක ජනාධිපතිවරයාගේ විශේෂ පරිහරණය සඳහා පමණක් වෙන්කර තිබූ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ විශේෂ කාමරය අද (24) සිට පොදු ජනතාවගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් විවෘත කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ලබා දෙනු ලැබූ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රෝහල් පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ජපාන රජයේ ප්‍රදාන ආධාරයක් ලෙස 1984 වසරේ දී ඉදිකරන ලද ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ආරම්භ වූයේ ඇඳන් 1,000ක ධාරිතාවයකිනි. කෙසේ වෙතත්, එම සැලසුමට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අංක 1001 දරණ මෙම විශේෂ කාමරය ද අතිරේකව එක් කර තිබුණා.
රෝහල ආරම්භ කළ දා සිට ගෙවුණු වසර 42ක කාලය පුරාම මෙම කාමරය භාවිත කර ඇත්තේ අතිශය සීමිත අවස්ථා කිහිපයක දී පමණක් වුවද,ජනාධිපතිවරයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන්, රෝගීන්ගේ භාවිතයට නොගෙන එය වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරමින් පවත්වාගෙන ගොස් තිබෙනවා.
ඒ අනුව අද දින සිට මෙම විශේෂ කාමරය රෝහලේ ප්‍රතිකාර ලබන සාමාන්‍ය රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට නියමිතයි.













