මීට සති දෙකකට පමණ පෙර මකුලුගස්වැව හතේ කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මිය ගිය භාරකරුවකු නොමැති යාචකයකුගේ මළ සිරුරක් නීත්‍යානූකූලව භාර ගෙන ආගමික වතාවත් පවත්වා එම දේහයට අවසන් ගෞරව දක්වා සිය වියදමෙන් මිහිදන් කිරීමට කැකිරාව ගිරානේගම හා අවට ගම්වාසී පිරිසක් කටයුතු කර තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ගිරානේගම ප්‍රදේශයේ බස්නැවතුම් කඩකාමර ආදී විවිධ ස්ථානවල ජීවත්වෙමින් යාචක දිවියක් ගත කළ වයස අවුරුදු 90ක පමණ පුද්ගලයෙක්.
වසර 50ක පමණ කාලයක් ගිරානේගම ප්‍රදේශයේ තැනින් තැන නවාතැන් ගෙන සිටි ඔහු ප්‍රදේශයේ ජනතාව අතර පියදාස මාමා යන නමින් ප්‍රසිද්ධව සිටි බවත්, ඔහුගේ උපන් ගම්පලාත මාතලේ මහවෙල ප්‍රදේශයේ බව පවසා ඇති බවත් ප්‍රදේශවාසී ජනතාව පවසනවා.
මිය ගිය පියදාස මාමා ඉකුත් 13 වැනිදා යාචක කටයුතු සඳහා තමන් කරමින් සිටියදී මකුලුගස්වැව පොලිස් බල ප්‍රදේශයට අයත් හතේ කණුව ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මිය ගොස් තිබෙනවා.
එම අනතුර සම්බන්ධයෙන් මකුලුගස්වැව පොලිස් ස්ථානය මගින් විමර්ශණ සිදුකර සැකකාර යතුරුපැදි කරුද අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුන බවයි වාර්තාවන්නේ.
එහෙත් අනතුරින් මිය ගිය පියදාස මාමාගේ මෘත ශරීරය භාර ගැනීමට පවුලේ ඥාතීන් කිසිවකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් එම සිරුර දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ දින 14ක පමණ කාලයක් රඳවාගෙන තබා ඇත්තේ හිමිකරුවකු නොමැති මෘත ශරීර ආදාහනය කිරීමේ ක්‍රියාවලිය යටතේ අවශ්‍ය පියවර ගැනීම සදහාය.
යාචක දිවියක් ගත කළද වසර පනහක පමණ කාලයක් තම ගම්බිම්වල නිරන්තරයෙන් සැරි සැරූ පියදාස මාමාට උදාවී තිබූ මෙම අවාසනාවන්ත තත්ත්වය සැලවීමත් සමඟ ඉන් කම්පිත වූ ගිරානේගම ප්‍රදේශවාසින් පිරිසක් පියදාස මාමා ගේ මෘත ශරීරය තමන් වෙත ලබා දෙන ලෙස මකුලුගස්වැව පොලිස් ස්ථානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ යාචක දිවියක් ගත කලද වසර ගණනක් තමන් අතර සිටි පියදාස මාමාගේ දේහය සම්බන්ධයෙන් ආගමික වතාවත් සිදුකර ගෞරවාන්විතව මිහිදන් කිරීමේ අවශ්‍යතාවය තමන්ට ඇති බව පවසමිණි. ඒ අනුව පොලිසියේ හා අධීකරණයේ මැදිහත්වීම අනුව පියදා මාමාගේ දේහය තමන් වෙත භාර ගැනීමට ගිරානේගම ප්‍රදේශවාසීන්ට හැකිව තිබෙනවා.
ඒ අනුව රෝහලෙන් භාර ගෙන තිබූ එම මෘත දේහය මල් ශාලාවක් වෙත යොමුකර බෙහෙත් ගල්වා පියදාස මාමා අවසන්වරට රැදී සිටි ගිරානේගම මංසන්ධීයේ පිහිටි කඩකාමරයක් වෙත රැගෙනවිත් මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට එම ප්‍රදේශවාසින් කටයුතු කර තිබෙනවා.
බොහෝවිට තම නිවසේ පිටස්තරයකුගේ දේහයක් තැන්පත් කිරීමට අකමැත්තක් දක්වන ඇතැම් මිනිසුන් සිටින සමාජයේ එම කඩ කාමරය හිමි ගිරානේගම පදිංචි සෙනවිරත්න ද ඒ සඳහා සිය කැමැත්ත හා අවශ්‍ය පහසුකම් සපයා දීමටද කැමැත්තෙන් ඉදිරිපත්ව තිබෙන බවයි වාර්තාවන්නේ.
එහි තැන්පත් කර තිබූ පියදාස මාමා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාද අවසන් වරට පියදාස මාමා දැක බලා ගැනීම සඳහා ද ජීවත්ව සිටියදී පියදාස මාමාට උදව් උපකාර කළ බොහෝ පිරිසක් එම ස්ථානයට එක්රොක්ව තිබෙනවා.
දෙහිප්පාව රජමහ විහාරය හා පුබ්බෝගම ධම්මප්රදීපාරාම යන විහාරද්වයාධීපති පූජ්‍ය කදානේ සද්දානන්ද හිමියන් ඇතුලු මහ සංඝරත්නය එහිදී පියදාස මාමා වෙනුවෙන් වූ ආගමික වතාවත් ඉටුකර තිබෙනවා.
එම අවස්ථාවේ අදහස් දැක්වූ පූජ්‍ය කදානේ සද්දානන්ද හිමියන් පැවැසුයේ මනුසත්මක ගිලිහෙමින් පවතින මෙවන් යුගයක ගිරානේගම දඹුලුහල්මිල්ලවැව දෙහිප්පාව ආදී ගම්මානවල ජනතාව විසින් සිදු කර ඇති මෙම පරමාර්ශී කටයුත්ත මතුපරපුරට දැක්වූ උතුම් පූර්වාදර්ශයක් මෙන්ම කුසල් වඩවන සද්කාර්යයක් බව ද සිහිපත් කළ යුතු බවයි.
පැවැති ආගමික වතාවත් වලින් අනතුරුව පියදාස මාමාගේ දේහය ගෞරවාන්විත අයුරින් ගිරානේගම පොදු සුසාන භූමියේදී මිහිදන් කිරීමට ගිරානේගම ජනතාව කටයුතු කර තිබෙනවා.
සිය ගම් ප්‍රදේශයේ නිරතුරුව වාසය කරමින් යාචක දිවියක් ගත කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස මිය ගිය පියදාස මාමා ගේ මරණයට අදාළව ආගාමානූකූලව සිදු කෙරෙන දානමය පිංකමද සිදු කිරීමට ගිරානේගම ප්‍රදේශවාසීන් මේ වනවිට සූදානමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.




