ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම සැකකරු ව අද (17) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට පමුණවනු ලැබුවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු ව විනිසුරු වෙත පමුණුවමින් පැවසුවේ සිද්ධිය වූ දින සංජීව කුමාර සමරරත්න නමැත්තා ව අධිකරණයට ගෙනැවිත් ඇත්තේ අදාළ ජේලර්වරයා විසින් බවයි.
ඔහු සිය රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදු වූයේ දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.
වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම සැකකාර බන්ධනාගාර නිලධාරියා විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසුවා.
එහිදී පොලීසිය විසින් සැකකරුගේ ජංගම දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් කැදවීමට අවසර දෙන ලෙසත් ඉල්ලීමක් සිදු කරනු ලැබූ අතර ඊට අවසර හිමිවුණා.
අදාළ සැකකාර ජේලර්වරයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි නියම කෙරුණේ.