කෝටි දහ අටක රත්තරන් තොගයක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

රුපියල් එක් කෝටි දහ අට ලක්ෂ අසූ පන් දහස් පන්සිය දහ හතරක් වටිනා රන් තොගයක් බලපත්‍ර නොමැතිව සහ රේගුව වෙත ප්‍රකාශ නොකර, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් ඊයේ (08) දින ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මාතලේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මොහු ඊයේ දින උදෑසන 06.30ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ග්‍රෑම් 271 මිලි ග්‍රෑම් 480 ක් බරැති කරමාළ 12 ක්, අත් පළදනා 10ක් සහ රන් බිස්කට් 02 ක් සගවා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා අද (09) දින උදෑසන නයිකන්ද රේගු නිවාරණ කාර්යාලයේ නිලධාරීන් වෙත යොමු කළ අතර, එහිදී පැවති විධිමත් රේගු පරීක්ෂණයේ දී මෙම රත්තරන් තොගය රාජසන්තක කර මෙම ගුවන් මගියාට රුපියල් ලක්ෂ 10ක දඩ මුදළක් ගෙවන ලෙසද නියෝග කළා.