කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මුළුතැන්ගෙයි සිදු වූ ගෑස් ආශ්‍රිත අනතුරකින් එහි සේවකයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මුළුතැන්ගෙට ගෑස් සපයන නළයක සිදු වූ කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි. එමෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වූ අතර කොට්ටාව ප්‍රදේශයේ වෙළඳසැලකින් මිල දී ගත් ගෑස් සිලින්ඩරයකින් අධික ලෙස ගෑස් කාන්දු වන බව වාර්තා වුණා.
මේ අතර වෙළඳපොළ තුළ ප්‍රමාණවත් සැපයුමක් නොමැති වීමෙන් තවදුරටත් ගෑස්පෝළිම් දක්නට ලැබෙනවා. අම්බලන්ගොඩ නගරයේ පිහිටි ලිට්රෝ සමාගමට අයත් අලෙවිසැලක අද අලුයම සිට දිගු පෝළිම් දක්නට ලැබූ බව අප වාර්තාකරු සඳහන් කළා.
උදෑසන 9ට පමණ එම ස්ථානයට ගෑස් සිලින්ඩර රැගත් ලොරියක් පැමිණ ඇති අතර එහි දී ඇති වූ උණුසුම්කාරි තත්ත්වය පාලනය කිීරීම සඳහා මැදිහත් වීමට පොලිසියට ද සිදු වුණා. ලිට්රෝ සමාගමට අයත් මෙට්‍රික් ටොන් 3700ක් අඩංගු ගෑස් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර පාරිභෝගික අධිකාරියේ මැදිහත් වීමෙන් එහි සංයුතිය පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ, සිය සමාගමට අයත් ගෑස් නෞකාවක් ද හම්බන්තොට වරායට අද ළඟා වන බවයි. තොග ලැබුණ ද සිය සමාගමට උපරිම ධාරිතාවයකින් ගෑස් සැපයීම සිදුකළ නො හැකි බව ඔහු සදහන් කළා. ණයවර ලිපි නිකුත් කිරීමේ දී මතුව ඇති ඩොලර් අර්බුදය ඊට හේතු වී ඇති බවයි ලාෆ් සමාගමේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.




