AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා බය මැයිවලින් ඉවරයි

ලබන මැයි මාසයේ අවසානය වනවිට කොවිඩ්-19ට එරෙහි එන්නත එය ලැබීමට සුදුසුකම් සපුරා ඇති මෙරටේ සියලු ජනතාවට දී අවසන් කළ හැකිවනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේ ය.ඒ අනුව, මෙරට ජනගහනයෙන් සියයට 60%ක් වන ලක්ෂ 132ක ජනතාවකට එය ලබාදීම සඳහා දිවයින පුරා එන්නත් මධ්‍යස්ථාන 4,000ක් සූදානම් කිරීමේ කටයුතු අරඹා ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

වයස අවුරුදු 18ට අඩු හා ගැබිනි මාතාවන් හැර අනෙකුත් සියලු ම ජනතාව මෙම එන්නත ලබාගැනීම සඳහා සුදුස්සන් බවට තීරණය කර තිබෙන බව ද එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ය. දැනට දෙනු ලබන එන්නත මගින් රෝගය තවත් කෙනකුට බෝ නොවන බවට නවතම පර්යේෂණ වාර්තා මගින් හෙළිකර ඇතැයි ද  එම ආරංචි මාර්ග කියා සිටියේ ය.ඉන්දියාවෙන් මේ වනවිටත් ඇණවුම් කර තිබෙන ලක්ෂ 180ක් වන එන්නත් වරකට ලක්ෂ 30 බැගින් මෙරටට ගෙනැවිත් එන්නත්කරණ කටයුතු සූදානම් කර තිබෙන බව ද සඳහන් කළ එම ආරංචි මාර්ග එම ක්‍රමවේදය අනුගමනය කරනුයේ එන්නතෙහි ගුණාත්මකභාවය හා ඊට අවශ්‍ය උෂ්ණත්ව පාඨාංකයන් නියමානුකූලව පවත්වාගත හැකිවන පරිදි බව ද ප්‍රකාශ කළේය.

මීට අමතරව චීනයෙන් ද ප්‍රදානයක් ලෙස එන්නත් ලක්ෂ තුනක් ලැබීමට නියමිතව ඇතැයි ද සඳහන් කළ එම ආරංචි මාර්ග ඒ සඳහා මෙරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබීමට නියමිතව ඇතැයි ද පැවසීය.

ශික්ෂණ රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා, මාතෘ හා ළමා සායන ඇතුළු දිවයින පුරා මධ්‍යස්ථාන 4000කදී මෙම එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරන බවත් එක් දිනක් තුළ මධ්‍යස්ථාන 2000කදී එක් මධ්‍යස්ථානයකින් පුද්ගලයන් 300 දෙනකු බැගින් දිනකට ලක්ෂ 6කට එන්නත් කිරීමේ කටයුතු කෙරෙන බවත් ඒ ආකාරයෙන් දින 20ක් ඇතුළත එන්නතෙහි පළමු මාත්‍රාව ලක්ෂ 132කට ම ලබාදීමට කටයුතු කරන බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ ගැන’ කළ විමසීමකදී ප්‍රකාශ කළා ය.

ඉන්දියාවෙන් ආනයනය කෙරෙන එන්නත් ප්‍රමාණය පෙබරවාරි මස අගදී හා මාර්තුවේදී ලැබීමට නියමිත බවත් ලක්ෂ 42ක් වෙනුවෙන් කෝවැක්ස් පහසුකම යටතේ එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ලැබීමට නියමිත බවත් එම එන්නත් ප්‍රමාණය ද පෙබරවාරි අගදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. ඊට අමතරව රුසියාවෙන් හා චීනයෙන්ද එන්නත් ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කළා ය. 

කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත පළමු මාත්‍රාව පමණක් ලබාදීමෙන් අනතුරුව කොවිඩ්-19 සම්ප්‍රේෂණය වීම 67%කින් අඩුවී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී ඇති බවත් එම එන්නතෙහි දෙවනි මාත්‍රාව ලබාදුන් පසුව කොරෝනාවෛරසය සම්ප්‍රේෂණය වීම තවත් අවම වන බව ද රාජ්‍ය අමාත්‍යවරිය විසින් පෙන්වා දෙන ලදී.

දැනට කොරෝනාවෛරසයට ගොදුරුවී සුවය ලබා සිටින පිරිසෙන් වෛරසය තවත් පුද්ගලයෙකුට ආසාදනය නොවුණ ද වැඩි ආරක්ෂාවට ඔවුන් සියලු දෙනාට ද මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා ය.

මෙම එන්නත් ප්‍රමාණය පියවරෙන් පියවර පෙබරවාරි මස මැදදී ලැබුණොත් පෙබරවාරි මස අගදී එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන බවත් එසේ නොමැතිව මාර්තු මුල් සතියේ ලැබුණොත් මාර්තු මුල සිට එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි එන්නත්කරණය සාර්ථකව අවසන් කළ පළමු රට හැටියට කටයුතු කිරීමට රජය සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ නිලධාරීන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා ය.එන්නත ලබාදෙන සෑම පුද්ගලයේකුට ම කාඩ්පතක් ලබාදෙන බවත්, දෙවනි මාත්‍රාව ලබාදෙන විට එම කාඩ්පත අනිවාර්යයෙන් ම රැගෙන ආ යුතු බවත්, එන්නත ලබාදීමේ සියලු ම තොරතුරු පරිගණ ගත කරන බවත් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?