යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු කොටහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා සිදු කළ ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙකු ලබන 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (25) නියෝග කළා.
කොළඹ 15, මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි පසිඳු විරාජ් නමැති සැකකරුවෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි විනිසුරුවරිය නියෝග කර ඇත්තේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකාර පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාල කල්ලි අපරාධකරුවන් සමග සම්බන්ධතා පවත්වා තිබෙන බවට කරුණු අනාවරණය වන බව ද කොටහේන පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.
කොටහේන පොලීසියේ උප පොලිස් පරීක්ෂක අරවින්ද මහතා අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ මෙම සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන්ව කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස් හන්දිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරියගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති බවත් එහිදී අපරාධය සිදු කිරීමට අදාළ ගිනිඅවිය සහ පතොරම් වෙඩික්කරු හට ලබා දී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි.
පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.
පසුගිය 21 දා කොටහේන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් අයකුට වෙඩි තබා ඝාතනය කර තිබූ අතර පසුව අදාළ වැඩි තැබීම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැඟවූ ආයුධ පෙන්වීමට යෑමේ දී ඇති වූ සිදුවීමක් මත පොලිස් වෙඩි පහරින් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව ද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.