බංගලාදේශ ප්‍රිමියර් ලීගය හෙවත් BPL විස්සයි විස්ස තරගාවලිය, බංගලාදේශ ක්‍රීඩකයින් මෙන්ම විදෙස් ක්‍රිකට් තරු රැසකගේ සහභාගීත්වයෙන් හෙට (26) බංගලදේශයේදී ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 06ක් එක්වන අතර හෙට දිනයේදී ආරම්භක දිවා තරගය ලෙස සිල්හෙට් ටයිටන්ස් සහ රාජ්ෂාහි වොරියර්ස් තරග වදින අතර රාත්‍රී තරගය ලෙස නොකාලි එක්ස්ප්‍රස් සහ චැටෝග්‍රෑම් රෝයල්ස් තරග වැදීමට නියමිතයි.
මේ අතර තරගාවලිය ආරම්භ වීමට එක් දිනක් පමණක් ඉතිරිව තිබියදී නොකාලි එක්ස්ප්‍රස් කණ්ඩායම අද (25) පළමු තරගයට පෙර සිය අවසන් පුහුණු සැසිය සඳහා එක්වුණා.
කෙසේ වෙතත් පුහුණුවීම් ආරම්භ කර කෙටි වෙලාවක් ඇතුළත නොකාලි එක්ස්ප්‍රස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන කලීඩ් මහමුද් පුහුණු වීම් අතහැර දමා ක්‍රීඩාංගනයෙන් පිටතට පැමිණ තිබෙනවා.
එලෙස හදිසියේම පුහුණුවීම් අතහැර දමා ඉවත්ව යාම පිළිබදව ක්‍රීඩාංගනයෙන් පිටත රැඳී සිටි මාධ්‍යවේදීන් ඔවුගෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ පුහුණුවීම් සඳහා අවශ්‍ය ක්‍රිකට් පන්දු සහ අනෙකුත් පහසුකම් නොමැති බවත් එවන් තත්ත්වයක් මත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරේ තව දුරටත් කටයුතු කළ නොහැකි බවයි.
“මේ තත්වයන් යටතේ මම BPL හි වැඩ කරන්නේ නැහැ. මම මීට පෙර කවදාවත් BPL හි මෙය දැක නැහැ,” යැයි මාධ්‍ය වෙත පවසමින් ඔහු අසළ තිබූ ත්‍රීරෝද රථයකට නැග කණ්ඩායමේ සහය පුහුණුකරු ජුබෙයාර් සමඟ ක්‍රීඩාංගනයෙන් පිටත්ව ගොස් තිබෙනවා,
කෙසේ වෙතත් මෙලෙස පුහුණුකරු පුහුණුවීම් අතහැර දමා ගිය පසුබිමක නොකාලි එක්ස්ප්‍රස් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස්, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබී ඇතුළු කණ්ඩායමේ ක්‍රීඩකයින් අඛණ්ඩව ඔවුන්ගේ පුහුණුවීමවල නිරතව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.














