කුලී ගමනක් යන මුවාවෙන් කැදවා ගෙන ගොස් රියදුරු ඝාතනය කර ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලිසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම, තිල්අඩිය, අල්කාසිම් ගම්මානයේ පදිංචිව සිටි අබ්දුල් ලතිෆ් නැමැති වයස අවුරුදු 72ක ත්‍රිරෝද රථ රියදුරෙක්.
ඊයේ (21) රාත්‍රියේ ත්‍රිරෝද රථ රියදුරාගේ නිවසට පැමිණ ඇති පුද්ගලයෙක් කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා ඔහුව කැඳවා ගෙන ගොස් තිබෙනවා.
අද (22) අලුයම පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේ කාණුවක තිබී මිය ගොස් ඇති අයෙකුගේ සිරුරක් ප්‍රදේශවාසියෙකු විසින් දැක ඒ බව පොලීසියට දැනුම්දීමට කටයූතු කර තිබුණා.
එලෙස සොයාගෙන ඇති මළ සිරුර ඊට පෙර දින රාත්‍රියේ කුලී ගමනක් යෑමට අවශ්‍ය බව පවසමින් නිවසින් කැඳවාගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරාගේ බවටයි හඳුනාගෙන ඇත්තේ.
මෘත ශරීරය ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර, ඔහුගේ ත්‍රිරෝද රථය හමුවී නැහැ.
පොලිසිය සැකපළ කරන්නේ ත්‍රිරෝද රථය කොල්ලකා ඇති බවයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.



