AFC Banner
Empty Ad
Empty Ad

කුඩු ජාවාරම මෙහෙයවූ පාතාල නායකයාගේ රූමත් බිරිඳගේ කැරැට්ටුව මෙන්න

පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන නිතර දෙවේලේ පුවත් පළවේ. නමුත් එවැනි පුද්ගලයන්ගේ බිරින්දෑවරුන් එතරම් කතාබහට ලක් නොවේ.

මේ බිරිඳ සුවිශේෂී චරිතයකි. ඇය රටේ නමගිය, රූමත් තාරකාවකි. නව විලාසිතාවන්ගෙන් සැරසී සිටින ඇය පසුපස ඡායාරූප ශිල්පියෝ නිතර ලුහුබඳිති.

ඇය ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය ද ලබාගෙන සිටින්නීය.

සිය සැමියාගේ මත්කුඩු ජාවාරමට උදව් කරන බවට ඇතැම් දේශපාලකයන්ට ද චෝදනා එල්ල විය.

ඇය මිල අධික වස්ත්‍රාභරණයෙන් සැරසී සිටින්නීය. අත් බෑගය හෝ පසුම්බිය ‘ලුවි විටෝන්’ වැනි ඉහළ අන්තයේ වැජඹෙන වෙළෙඳ නාමයන්ට අයත්ය. දියමන්ති ඔබ්බවන ලද මුදු, කරාබු පැළඳ සිටින්නීය.

නිව්යෝර්ක් නුවර දී පවා අතිශය සුඛෝපභෝගී ජීවන රටාවක් පවත්වාගෙන යාමට තරම් ධන සම්භාරයකට ඇය හිමිකම් කියන්නීය.

මේ පාතාල ‘රැජින’ කවුද? ඇය රටේ නමගිය තාරකාවක් වූයේ කෙසේද? මේ ‘රැජින’ දැන් සිටින්නේ කොතැනද? ඇයගේ සැමියා කවුද?

මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ලොව අතිශය දරුණු සහ බලවත් පාතාල නායකයන් ගැන කතා කිරීමේ දී පැබ්ලෝ එස්කොබා (Pablo Escobar) සහ එල් චාපෝ (El Chapo) යන නම් දෙක ඉහළින්ම කියවෙයි.

මේ ලිපියට ප්‍රස්තුත වන්නේ එල් චාපෝ ගේ බිරිඳ වන එමා ය. ඇයගේ සම්පුර්ණ නම එමා කොරොනෙල් අයිස්පුරෝ (Emma Coronel Aispuro) ය.

මෙක්සිකෝවේ සිනලොවා කල්ලියේ නායකයා වන එල් චාපෝ මෑතක දී නීතියේ රැහැනට හසුවිය. සිනලොවා යනු ලෝකයේ විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය ලෙස සැළකේ.

නිව්යෝර්ක් නුවර පැවති නඩු විභාගයකින් අනතුරුව මෙම ප්‍රකෝටිපති එල් චාපෝ ජීවිතාන්තය දක්වා සිරගත කෙරුණි. මේ වන විට ඔහුගේ බිරිඳ අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටියේ ද නිව්යෝක් නුවරමය.

නොසිතූ මොහොතක එමා ද අත්අඩංගුවට පත් විය. වර්ජිනියා ප්‍රාන්තයේ සිර කඳවුරකට ඇය ගෙන යන ලදී. ලොව දරුණුතම පාතාල කල්ලියක රාජිනියට ඉන් අනතුරුව සිදු වූයේ කුමක්ද?

දැන් එමා රඳවා ඇත්තේ හුදෙකලා සිර කුටියක ය. එය ඉතා කුඩා සිර කුටියකි. දිගු අතට දිවෙන යකඩ පතුරු සහිත කුඩා කවුළුවකින් සමන්විතය. මෙම යකඩ පතුරු, රතු පැහැති ගඩොල් බිත්තිය තුළට කිඳා බැස ඇත.

“මේ දවස්වල ඇය කාලය ගත කිරීම සඳහා නවකතා පොත් කියවනවා; ශෘංගාරාත්මක ප්‍රේම කතා.” එමාගේ නීතිවේදියා වන මැරියෙල් කොලෝන් පැවසීය.

කෙසේ වෙතත් එමා මීටපෙර ගතකළ අතිශය සැපදායක ජීවිතයට වඩා මේ හුදෙකලා සිරකුටියේ ජීවිතය හාත්පසින්ම වෙනස්ය.

මීට මාස කීපයකට පෙර එමා අලුත් ව්‍යාපාරයකට අතගැසීමට සැලසුම් කරමින් සිටියාය. අලුත් ඇඳුම් විලාසිතා පෙළක් එල් චාපෝ ගේ නමින් (El Chapo Guzman) වෙළෙඳපොළට හඳුන්වා දීම ඒ සැලසුමයි.

මෙක්සිකෝවේ විලාසිතා ව්‍යාපාරිකයන් අතර එමා සහ එල් චාපෝ ට ඉතා ඉහළ තැනක් හිමිව තිබුණි. මෙම යුවලගේ දියණිය ද මෙම තරඟකාරී විලාසිතා ක්ෂේත්‍රයට සම්බන්ධ වූයේ පියාගේ බලය පාවිච්චි කරමිනි.

එල් චාපෝ ට එරෙහි නඩුව 2019 දී නිව්යෝක් නුවර උසාවියක විභාගවෙමින් පැවතුණි. නඩුව කැඳවූ සෑම දිනයක ම පාහේ එමා ද උසාවියට පැමිණ සිටියාය. ඇය උසාවියට පැමිණියේ ද ඉතා ආකර්ෂණීය ලෙස හැඳ පැළඳගෙන ය. වටිනා ස්වර්ණාභරණ පැළඳ සිටියාය. මිල අධික අත් ඔරලෝසුවක් වමතේ විය.

31 හැවිරිදි එමා අත්අඩංගුවට පත්වූයේ පසුගිය පෙබරවාරි මාසයේදී ය. එය සිදුවූයේ වර්ජිනියා නුවර ඩලස් ජාත්‍යන්තර ගුවන්තොටුපළ තුළදී ය.

‘කුප්‍රකට සිනලොවා කල්ලිය පවත්වාගෙන යාම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයෙකු වන සිය සැමියාට උදව්කිරීම,’ ඇයට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවයි.

64 හැවිරිදි එල් චාපෝ මේ වනවිට ජීවිතාන්තය දක්වා සිරගත කොට තිබුණි. ඔහු රඳවා තිබුණේ ඇමරිකාවේ කොලරාඩෝ සුපර්මැක්ස් හිර ගෙදරය.

කොකේන් මත්ද්‍රව්‍යය බෙදා හැරීම සඳහා එමා කොරෝනෙල් කුමන්ත්‍රණය කර ඇති බවත් 2015 දී මෙක්සිකෝවේ සිර මැදිරියකින් පලා යාමට සිය සැමියාට උදව් කර ඇති බවත් FBI නිලධාරීහු පැවසූහ.

එමාගේ ජීවිත කතාව නොයෙක් පැතිවලට දිව යන්නකි. අනියම් සබඳතා සහිත වංචනික ස්වාමිපුරුෂයෙකු ගේ බිරිඳකි. අපරාධ කල්ලියකට ස්වාමිදුවකි. තවත් පසෙකින් දිව යන නීති විරෝධී ජාවාරමකි.

නඩු විභාගය සඳහා තවමත් දින නියම කර නොමැත. ගොනු කොට ඇති චෝදනාවලට වරදකාරිය වුවහොත් එමාට ද සිදුවන්නේ දිවි ඇති තෙක් සිරකුටියක තනි වන්නටය.

නගා ඇති චෝදනාවලට ඇය වැරදිකාරිය ද නිවැරදිකාරිය ද යන ප්‍රශ්නය මොහොතකට පසෙක තබා බලන කල එමා සිය ජීවිතය තුළ අසාමාන්‍ය භූමිකාවක් කැටයම් කර ඇති බව මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව විශ්ලේෂණය කරන්නෝ පවසති.

ඇය ජනතාව අතර ප්‍රසිද්ධ චරිතයක් වූවාය. ව්‍යවසායක කාන්තාවක් වූවාය. එමෙන්ම, කල්ලි නායකයෙකු ගේ දොරටුපාලිකාව ද වුවාය.

සාමාන්‍ය සම්ප්‍රදාය නම්, පාතාල කල්ලි නායකයෙකුගේ බිරිඳක් යනු “කිසිදු කාර්යයක් හෝ බලයක් පැවරී නැති, ලිංගික ආකර්ෂණය පමණක් ඇති” චරිතයක් බව සන් දියාගෝ නුවර පිහිටි කැලිෆෝනියා සරසවියේ ආචාර්ය සිසිලියා ෆර්ෆාන් මෙන්ඩෙස් පැවසුවාය.

“එමා ඊට වඩා වෙනස්. ඇය පෙන්වා දුන්නා ගැහැණුන්ටත් බලයක් පිහිටුවා ගන්න පුළුවන් කියලා.” ආචාර්ය සිසිලියා ප්‍රකාශ කළාය.

අපරාධ කල්ලියක බලය දරා සිටීම යනු අවදානම් සහගත කටයුත්තකට අත ගැසීමකි.

“ඔබ මේ ජාවාරමට එකතු වුණොත් ඔබේ අවසානය වන්නේ එක්කෝ නීතියේ රැහැනට හසුවීම, නැත්නම් කාගෙන් හෝ ඝාතනයට ලක්වීම.” එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය නිවාරණ බල අධිකාරියේ හිටපු විශේෂ නියෝජිත ඩෙරික් මොල්ට්ස් පැවසීය.

එමා, සිය විලාසිතා ව්‍යාපාරය දියත් කිරීම සඳහා නිර්භීතව සැලසුම් කරමින් සිටියාය. නමුත්, ඒ වනවිට රහස් පරීක්ෂකයෝ ද ඇය වෙත සමීප වෙමින් සිටියහ.

එල් චාපෝ ගේ නඩුව විභාගවෙමින් පැවැති දිනයක එමා සිය මිතුරියන් කීප දෙනෙකු සමඟ උසාවි ගොඩනැගිල්ලේ පිහිටි අවන්හලක ආහාර ගනිමින් සිටියාය. සලාදයක රස බලමින් සිටින අතරතුර එමා විහිලු තහළු කරමින් අල්ලාප සල්ලාපයේ යෙදුණේ කිසිවක් සිදු නොවූ ගානටය.

“ඇය ශක්තිමත් පෞර්ෂයකින් හෙබි කාන්තාවක්. මම දන්නා එමා හරිම ශක්තිමත්, හැම වෙලාවේම හිනාවෙලා ඉන්නෙ.” එමාගේ නීතිවේදියෙකු වන මිරෝ පැවසුවේය.

එමාට මෙක්සිකෝවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිභාවය හිමිය. පළමුවරට එල් චාපෝ මුණගැසෙන විට ඇය 17 හැවිරිදි භද්‍ර යෞවනියකි. දෙදෙනාගේ විවාහය සිදුවීමට වැඩි කාලයක් ගතවූයේ නැත.

දැන් ඇය දියණියන් දෙදෙනෙකුගේ මවකි.

එල් චාපෝ ගේ නඩුව කැඳවූ සෑම දිනකම පාහේ එමා අධිකරණ ශාලාවේ අසුන්ගෙන සිටියාය. විවේක කාලයක් නිවේදනය කළ මොහොතක මාබල් ඇල්ලූ කොරිඩෝව දිගේ ඇය ඇවිද යන විට අඩි උස සපත්තුවෙන් පිටවන හඬ නිසා කාගේත් අවධානය යොමු වේ.

“සිනලෝවා රැජින” පැරිසියේ ආරක්ෂක විශ්ලේෂකයෙකු වන රොමේන් ලෙ කුවර් ග්‍රෑන්ඩ්මේසන් පැවසීය. ඔහු මෙක්සිකෝවට ගොස් කාලයක් ගතකළේ අපරාධ කල්ලි පිළිබඳව අධ්‍යයනය කිරීමටය.

රතු පැහැ ගැන්වූ දෙතොල, දියමන්ති පිරුණු ආභරණ, දිගු දෙපා යුගළට තදවන්නට හැඳි ඩෙනිම් කලිසම… මේ සියල්ලෙන්ම මූර්තිමත් වන්නේ මෙක්සිකෝවේ පාතාල නායකයන් තෝරා ගන්නා පෙම්වතියකගේ අංග ලක්ෂණ බව රොමේන් පැහැදිලි කළේය.

එල් චාපෝ ගේ කල්ලියේ බලකොටුව වූ මෙක්සිකෝවේ සිනලොවා ප්‍රදේශය පිළිබඳව George Mason සරසවියේ ආචාර්ය ගුවාදලූපා කොරෙයා-කබ්රේරා ගවේෂණයක යෙදුණාය.

ඇය පවසන පරිදි එමා මූර්තිමත් කරන්නේ ‘buchona’ යන යෙදුමෙන් මෙක්සිකෝවේ හැඳින්වෙන කාන්තා පැලැන්තියයි.

“ඔවුන් අඳින්නේ මිල අධික ඇඳුම්. පාවිච්චි කරන්නේ ලුවි විටෝන් අත් බෑගයක්. හැම දෙයක්ම වැඩියෙන් මතුවන හෝ කැපී පෙනෙන ආකාරයෙන්. ඇය buchona ප්‍රතිමූර්තිය හොඳින්ම නියෝජනය කරනවා. ඔවුන් වැඩිපුරම හිතන්නේ තමන්ගේ පෙනුම ගැන විතරයි. ප්ලාස්ටික් සැත්කම් නිතරම කරනවා.” ඇය පැවසුවාය.

කොරෙයා-කබ්රේරා පවසන පරිදි එමාගේ වඩාත්ම සිත් ඇදගන්නා ශරීර අංගය වන්නේ “තට්ටම් යුවල” ය. එය “අතිශයින්ම වක්‍රාකාර” බව ඇය පවසයි.

නමුත්, දුටුවන් වශීකරවන එමාගේ පෙනුම මෙන් සිය සැමියා පාලනය කරන කල්ලිය අලංකාරවත් නොවේ. එය ඉතා කුරිරු ය.

එල් චාපෝ ගේ සැබෑ නම හෝකින් ගුස්මාන් ලොවෙරා (Joaquín Guzmán Loera) ය. මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සිය අපරාධ කල්ලිය පවත්වාගෙන යාමට ඔහු ප්‍රචණ්ඩත්වය යොදා ගත්තේය. එමගින් තම ජාවාරම අතිශය බලවත් තැනකට ඔසවා තැබීමටත් මහා ධනස්කන්ධයක් රැස් කර ගන්නටත් හැකියාව ලැබුණි.

ගුස්මාන්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් සියලුදෙනා මහා ධනවතුන් බවට පත් වූහ.

2006 දී මෙක්සිකෝ රජය මත්කුඩු ජාවාරමට සහ එය මෙහෙයවන කල්ලිවලට එරෙහිව යුද්ධයක් ප්‍රකාශයට පත් කළේය. එවක් පටන් මේ දක්වා 300,000කට අධික පිරිසක් ඝාතනය වී ඇත.

එසේ ඝාතනය වූවන් අතර ගුස්මාන්ගේ සතුරෝ මෙන්ම මිතුරෝ ද වූහ.

ගුස්මාන්ගේ පෙම්වතියකගේ මළ සිරුර හමුවූයේ මෝටර් රථයක් තුළ දමා තිබියදී ය. එම ඝාතනය සතුරු කල්ලියක වැඩක් බව වාර්තා වී තිබුණි.

ලුසේරෝ ග්වාදලූපා සැන්චෙස් ලෝපේස්, (Lucero Guadalupe Sanchez Lopez) එල් චාපෝ ගේ අනියම් බිරිඳක් වූවාය. මෙක්සිකෝව සහ එක්සත් ජනපදය අතර දේශ සීමාව අසලදී ඇය අත්අඩංගුවට පත් වූයේ මත්ද්‍රව්‍ය චෝදනා මතය. ඒ 2017 දීය.

නඩු විභාගයේ දී එල් චාපොට එරෙහිව ඇයගෙන් සාක්ෂි විමසා සිටියේය. නමුත් සියලු චෝදනාවලට තමා වරද පිළිගනිමින් නිහඬ වුවාය. ඇයට දස වසරක සිර දඬුවමක් හිමි විය. ලුසේරෝ දරුවන් දෙදෙනෙකුගේ මවකි.

එල් චාපෝ ගේ නඩු විභාගයට ලුසේරෝ ද කැඳවා තිබුණි. නිල් පැහැති ජම්පරයක් හැඳ සිටි ඇය විනිසුරුවරයා ඉදිරියේ අසුන් ගෙන සිටියාය. තමන්ගේ පෙම් සබඳතාව සහ එල් චාපෝ නමැති කල්ලි නායකයා පිළිබඳව තොරතුරු ඇය විස්තර කළාය.

ලුසේරෝ ගෙන් නොසන්සුන් බවක් දිස් විය. නිතරම වේගයෙන් ඇසිපිය ගසමින් සිටියාය. එල් චාපෝ ද ඊට නුදුරින් අසුන්ගෙන සිටියේය. ඔහුගෙන් දිස් වූයේ නොඉවසිලිමත් ස්වරුපයකි. බිත්තියේ තිබූ ඔරලෝසුව දෙස ඔහු නෙත් යොමා සිටියේය.

එල් චාපෝ ගේ නීත්‍යනුකුල බිරිඳ වන එමා ද ඊට පිටුපසින් වූ අසුන් පෙළක වාඩිලා සිටියේ සිය කෙස් කළඹ ඇඟිලි තුඩුවලින් පිරිමදිමිනි.

ඇය එදින සැරසී සිටියේ එල් චාපෝ හැඳ සිටි ඇඳුමට සමාන ඇඳුමකිනි.

එල් චාපෝ වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා වූ විලියම් පර්පුරා කියා සිටියේ එක හා සමාන ඇඳුමින් සැරසී සිටීමෙන් විවාහයේ ශක්තිමත් භාවය පෙන්නුම් කෙරුණු බවය. තම ස්වාමියාගේ අනියම් බිරිඳට පණිවිඩයක් දීම සඳහා එමා එසේ හැඳ පැළඳ සිටි බව නීතිවේදියා පැවසීය.

“ඒක අනියම් බිරිඳට රිදවීමක්. ‘ඔහු අයිති මටයි’ කියන පණිවිඩය තමයි එමා දුන්නේ.” නීතිඥ විලියම් පර්පුරා ප්‍රකාශ කළේය.

අධිකරණයේ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් අනතුරුව ලුසේරෝ නැවතත් ඇයගේ සිර කුටිය වෙත රැගෙන යන ලදී. එමා රාත්‍රී භෝජනය සඳහා නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියාය.

වැඩි කලක් ගතවන්නට පෙර දෙදෙනාගේ ම ජීවිත වෙනස් විය. ලුසේරෝ හිරෙන් නිදහස් වූවාය. ඇයට නිදහස් ජීවිතයක් හිමි විය. එමා දැන් සිර කුටියක ය. ඇය හුදෙකලා විය.

එදා නඩු විභාගයේ දී එමා හැසිරුණු අහංකාර විලාශය බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු විය. එමෙන්ම තම සැමියාට තවදුරටත් දක්වන හිතෛෂීභාවය පිළිබඳව ඇතැමුන් කලකිරීමට පත්විය.

“ඇය මෝඩ ගැහැනියක් බවට පත්වුණා. “ආරක්ෂක විශ්ලේෂක ග්‍රෑන්ඩ්මේසන් පැවසීය.

නමුත් ලුසේරෝ පැවසුවේ වෙනත් දෙයකි.

එමා සිරගත කොට ඇති බව ලුසේරෝ ට දැනුම් දුන්නේ ඇයගේ නීතිවේදිනිය යි. තමන්ගේ සතුරා විපතට පත් වී ඇති බව දැනගත් වහාම ඇතිවිය හැකි සතුටක් ඒ මොහොතේ ලුසේරෝ ගේ මුහුණින් දිස් නොවූ බව නීතිවේදිනිය පැවසුවාය.

“ඇයට දුක හිතුණා. ඇය කිව්වා, ‘ඒ, තමන්ගේ දරුවන්ගෙන් ඈත්වෙන්න සිදුවුන තවත් අම්ම කෙනෙක් විතරයි’ කියල.” ලුසේරෝගේ ප්‍රතිචාරය සිහිපත් කරමින් නිතිවේදිනි, හෙදර් ශැනර් පැවසුවාය.

උපුටා ගැනීම – බීබීසී සිංහල පුවත් වෙබ් අඩවිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?