ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන බාහිර මැදිහත්වීම් පිළිබඳව FIFA හි බලවත් කනස්සල්ල පළකරන බව දන්වමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තමන් වෙත ලිපියක් යොමුකළ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහලේකම් උපාලි හේවගේ පවසනවා.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධාන සාමාජික සංගම් නිලධාරි කෙනී ජීන්-මාරි විසින් පෙරේදා (22) තමන්ගේ විද්‍යුත් ලිපිනයට මෙම ලිපිය යොමුකර තිබූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
2022 සැප්තැම්බර් 22 දින සම්මත කරන ලද FFSL ව්‍යවස්ථාවට අනුකුලව හා එහි සඳහන් රාමුවට අනුකූලව නිලවරණය නොපැවැත්වුවහොත්, මෙම කාරණය තවදුරටත් සලකා බැලීම සහ අත්හිටුවීම ඇතුළුව FIFA ව්‍යවස්ථාව මත පදනම් විය හැකි සම්බාධක සඳහා අපගේ අදාළ තීරණ ගැනීමේ ආයතනය වෙත ඉදිරිපත් කරනු ලබන බව එම ලිපිය මඟින් අවධාරණය කර ඇති බවයි හිටපු මහලේකම්වරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා අවශ්‍ය උපදේශන හා නිරීක්ෂණ කටයුතු සදහා විදෙස් නියෝජිතයින් පිරිසක් පසුගිය සැප්තැම්බර් මාසයේ දිවයිනට පැමිණි බව පෙන්වාදෙන හිටපු මහලේකම්වරයා එහිදී අමාත්‍යවරයා සහ අමාත්‍යංශ බලධාරීන් සමඟ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව හා නිලවරණ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගත් බව දැනුම් දෙනවා.
එම නියෝජිත පිරිසට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලධාරින් දෙදෙනෙකු හා ආසියානු පාපන්දු සම්මේලනයේ නිලධාරියෙකු ඇතුළත්ව සිටි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර අන්තර් ජාතික පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට උපදෙස් දී තිබුණේ සිය සම්මේලනයට සමගාමීව යන නව ව්‍යවස්ථාවක් අනුමත කර ගනිමින් මීළඟ පාපන්දු නිලවරණය පැවැත්විය යුතුය යන්න බවයි හිටපු මහලේකම්වරයා පෙන්වා දෙන්නේ.
කෙසේ වුවද එසේ ඇතිකරගත් එකඟතාවයන්ට පිටුපා අමාත්‍යවරයා විසින් කඩිමුඩියේ ක්‍රීඩා සංගම්වලට අදාළ ගැසට් නිවේදන තුනක් ප්‍රකාශයට පත්කිරීම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අවධානයට ලක්ව ඇති බව ඔහු සඳහන් කර සිටිනවා.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ කෙනී ජීන්-මාරි විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම්ට යොමුකළ බව කියන ලිපිය පහතින්..






