කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙදී මිය ගිය රැඳවියා ඥාතීන්ගේ නෙවෙයි කියයි

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය රැඳවියන් අතරින් 232ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන 200කට වැඩි පිරිසක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනුරුත්ථාපන කටයුතු පිලිබඳ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළදී එහි රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බව ඔහු පැවසුවා.මියගිය බව කියන තරුණයාගේ අනන්‍යතාවය පිළිබඳව මේ වන විට ගැටලු‍කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.ඒ අදාළ සිරුර ඊයේ මියගිය බවට ප්‍රකාශ කළ හාලිඇල උඩුවර ප්‍රදේශයේ තරුණයාගේ නොවන බවට පවුලේ ඥාතීන් හඳුනා ගැනීමත් සමඟයි.

පොලිසිය කළ දැනුම්දීමක් අනුව එම පවුලේ ඥාතීන් හාලිඇල ප්‍රදේශයේ සිට කන්දකාඩු වෙත ගොස් තිබුණා.අප මේ සම්බන්ධයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මියගිය තරුණයාගේ පෞද්ගලික ලිපිගොනුවේ තොරතුරු අනුව මෙම දැනුම් දීම සිදු කළ බවයි.