එළඹෙන උත්සව සමය අරමුණු කරගනිමින් මාර්තු 20 වන දින සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ විශේෂ වැටලීම් ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ අධ්යක්ෂ අසේල බණ්ඩාර මේ බව සඳහන් කළේ අද (27) පෙරවරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ දිනවල තොග ගබඩා, තොග රැස් කරන්නන්, ආනයනකරුවන්ගේ ගබඩා සම්බන්ධව වැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන් කළ ඔහු, ඔවුන් සතුව භාණ්ඩ පවතින ප්‍රමාණයන්, භාණ්ඩ සඟවා ගෙන තිබේද යන්න සම්බන්ධව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කර කරන බව පැවසුවා.
මීට අමතරව සිල්ලර වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීමේ දී පාරිභෝගිකයින් අසාධාරණයට පත්වීම වැළැක්වීම සඳහා මිල ප්‍රදර්ශනය කිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන් සොයා වැටලීම් සිදුකිරීම වැනි ක්‍රියාවන් මේ වන විටත් ආරම්භ කර ඇති බව ද ඔහු මෙහිදී සදහන් කළා.
එමෙන්ම කල් ඉකුත් වූ සහ කල් ඉකුත්වීමට ආසන්න භාණ්ඩ නැවත වෙළෙඳපොළට නිකුත් කිරීම් වැළැක්වීම් මෙන්ම වට්ටම් ලබාදෙමින් භාණ්ඩ අලෙවි කිරීමේ දී සූක්ෂම ලෙස පාරිභෝගිකයා රැවටීම් වැළැක්වීම සඳහා ද අවධානයක් යොමු කරමින් වැටලීම් ක්‍රියාත්මක කරන බවත් අධ්යක්ෂවරයා සඳහන් කර සිටියා.
මැදපෙරදිග මතුව ඇති තත්ත්වය හමුවේ මෙරට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ පවතින භාණ්ඩ මිල වෙනස් කිරීමට ඇතැම් ව්‍යාපාරිකයින් පෙළඹ ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි ද පැවසූ ඔහු මෙම තත්ත්වය වැළැක්වීම සඳහා ද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති පැවසුවා.













