මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩක ෆසාල්හක් ෆාරුකි වහාම එම තරගාවලියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙවර තරගාවලියේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරන ෆාරුකි, ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කරගෙන මෙලෙස ඔහු තරගාවලියෙන් නොරපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බ්‍රහස්පතින්දා සිදු වූ සිදුවීමකින් පසු ෆාරුකිගේ හැසිරීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති අතර, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ විශේෂ කොමසාරිස්වරයෙකු යටතේ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.
එම විමර්ශනයෙන් පසු තීරණය කර ඇත්තේ ෆසාල්හක් ෆාරුකිගේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමඟ ඇති ගිවිසුම අවසන් කිරීමටයි.
ෆාරුකිගේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, මෙම කාරණය පිළිබඳ තොරතුරු “රහස්‍ය” බවත් තවත් ප්‍රකාශයන් මේ සම්බන්ධයෙන් සිදුනොකරන” බවත්ය.
එමෙන්ම මෙම සිද්ධියට පොලිසියේ සම්බන්ධයක් කිසිසේත්ම නොමැති බවයි එම ප්‍රකාශකයා පවසා තිබෙනවා.
මෙවර තරඟාවලියෙන් ඉවත් වූ ඩේවිඩ් විලී වෙනුවට ෆාරුකි පසුගිය නොවැම්බර් මාසයේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායම සමඟ ගිවිසුම් අත්සන් කරනු ලැබුවා.
මේ අතර, ෆසාල්හක් ෆාරුකි කණ්ඩායමෙන් ඉවත් කිරීමත් සමඟ ආදේශක ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් සිඩ්නි තන්ඩර් පිළ තවම තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.




