දිවයින පුරා පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ඇල්ල, ආරුගම්බේ, නුවරඑළිය,කල්පිටිය සහ හික්කඩුව යන නාගරික ප්‍රදේශ සඳහා සංචාරක සංවර්ධන සැලසුම් සකස් කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ.
ඒ අතරින් ඇල්ල සංචාරක සැලැස්ම දැනටමත් ගැසට්කර මගින් ප්‍රකාශයට පත්කර තිබෙන බවත් ආරුගම්බේ, කල්පිටිය, හික්කඩුව හා නුවරඑළිය සංචාරක සංවර්ධන සැලසුම් සකස් කිරීම අවසන් අදියරේ පවතින බවත් නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි වෙරළ තීරය ආශ්‍රිතව ගඟේ වාඩිය, සීතගල්ල, නයාරු බීච්,ගවනර් ඔෆිස්, වයික්කාල, සම්පල්තිව් බීච් ඇතුළු අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගෙන තිබේ.
මෙම ස්ථාන සංවර්ධනය කිරීම සඳහා ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු ව ඇති අතර ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ සංචාරක ආකර්ෂණීය ස්ථාන සංවර්ධනය කිරීමේ දී එම ප්‍රදේශ වල පවතින ස්වාභාව සෞන්දර්යට හානියක් නොවන පරිදි අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවයි.
