හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (20) නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව ගොනු කර ඇති චෝදනා හතෙන් චෝදනා දෙකකට අදාළ නඩු විභාගයේ සාක්ෂි විභාගය අද අධිකරණය හමුවේ කැඳවනු ලැබුණා.
ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටිමින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට ඩයනා ගමගේට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
2016 ජූලි 14 වැනිදා සිට 2017 ජූලි 16 වැනිදා දක්වා කාලය තුළත්, 2018 ජූලි 17 වැනිදා සිට 2019 ජූලි 16 වැනිදා දක්වා කාලය තුළත් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම ඇතුළු චෝදනා කිහිපයක් ඇයට එරෙහිව ගොනු කර තිබෙනවා.
එසේම, 2020 ජූලි 16 වැනිදා සහ නොවැම්බර් 1 වැනිදා අතර කාලය තුළ වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීම සහ 2014 ජනවාරි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පතක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම ද ඇයට එරෙහි චෝදනා අතර වෙනවා.
නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම චෝදනා අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.
නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඩයනා ගමගේ ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැන්පත් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා මීට පෙර නියෝග කර තිබුණා.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර නඩු දිනයකදී අධිකරණයට දැනුම් දී තිබෙනවා.
