TIN අංකයක් නොමැතිව බැංකු කටයුතු සිදුකිරීමට තාවකාලික පහසුකම්

නව බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සහ වාහන ලියාපදිංචි කිරීමේදී TIN අංකය සම්බන්ධයෙන් ඇතැම් ගැටලු මතුව ඇතිබැවින්, TIN අංකයක් නොමැති පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත සහ මූලික තොරතුරු ඉදිරිපත් කිරීමෙන් තම කටයුතු සිදුකරගැනීමට පහසුකම් සලසා තිබෙන බවට අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා.

ඒ වගේම TIN අංකයක් ලබාගෙන ඇති සියලු දෙනාම ආදායම් බදු ගෙවිය යුතු බවක් ඉන් අදහස් නොවන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාදීමේ වැඩපිළිවෙළ මෙරට ආර්ථික ක්‍රියාවලිය විධිමත් කිරීමේ අරමුණින් මීට පෙර සිටම ආරම්භ කර තිබූ වැඩපිළිවෙළක් බව ඔහු පෙන්වා දෙනවා.

වයස අවුරුදු 18ට වැඩි මෙරට ජනගහනය මිලියන 13ක් පමණ වන අතර, එම පිරිස සඳහා TIN අංක ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත් මේ වන විට මිලියන 1.2ක පමණ පිරිසක් සඳහා ආදායම් බදු ගොනු විවෘත කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

2026 නොවැම්බර් 01 වැනිදා සිට ආර්ථික ක්‍රියාකාරකම් අටක් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇති බවද ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත්, නව බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සහ වාහන ලියාපදිංචි කිරීමේදී TIN අංකය සම්බන්ධයෙන් ඇතැම් ගැටලු මතුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම නව බැංකු ගිණුමක් විවෘත කිරීමේදී TIN අංකයක් නොමැති පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත සහ මූලික තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස බැංකු පද්ධතියට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එමෙන්ම වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය ඉදිරිපත් කිරීමෙන් අදාළ කටයුතු සිදුකර ගැනීමට අවස්ථාව සලසා ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.