මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එක්දින සේවා සඳහා නව ක්‍රමවේදයක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මගින් සපයනු ලබන සියලුම එක්දින සේවාවන් ලබාගත හැකි වන්නේ පූර්ව වේලාවන් වෙන්කර ගැනීම හරහා පමණක් බව දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් සේවාවන් ලබා ගන්නා සියලුම සේවාලාභීන් සඳහා ඊයේ (02) දින සිට මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවටත් නිවේදනය කරනවා.

වාහන අලුතින් ලියාපදිංචි කිරීම, වාහන අයිතිය පැවරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ තාක්ෂණික ගැටලු නිරාකරණය ඇතුළු අනෙකුත් සියලුම එක්දින සේවාවන් සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වාදී තිබෙනවා.

සේවාලාභීන් එවැනි සේවාවන් ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට ප්‍රථම ඉහත සඳහන් ක්‍රමවේදයකට වේලාවක් වෙන්කරවා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව මින් ඉදිරියට පූර්ව වේලාවන් වෙන්කර ගැනීම හරහා පමණක් දෙපාර්තමේන්තුව මගින් සපයනු ලබන සියලුම එක්දින සේවාවන් ලබාගත හැකි වන බව දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ සඳහා සේවාලාභීන් පහත සඳහන් ක්‍රමවේද දෙකෙන් එකක් මගින් තමන්ට අවශ්‍ය සේවාවන් සඳහා පූර්ව වේලාවන් වෙන් කරවා ගත හැක.

තමන්ගේ ප්‍රාදේශීය දුරකථන සංකේත අංකය ඉදිරියට එකතු කර 117 116 අංකය ඇමතීමෙන් දුරකථන ඇමතුම් මාර්ගයෙන් වේලාවන් වෙන්කරවා ගත හැකි බවට දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. (උදාහරණ: 011 2 117 116)

නොමැතිනම් https://dmtappointments.dmt.gov.lk යන නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය මගින් වේලාවන් වෙන් කරවා ගත හැකි බවටත් නිවේදනය කරනවා.