අවුරුදු 15 ක දැරියකට කැත වැඩක් කළ 19 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

වයස අවුරුදු 15 ක දැරියකගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැර ඇයට මරණ තර්ජන එල්ල කළ 19 හැවිරිදි කාන්තාවක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනවලදී හෙලිවී ඇත්තේ එම කාන්තාව පෙම්වතෙකු ලෙස ජංගම දුරකථනය ඔස්සේ දිගු කලක්  දැරිය සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන යමින් දැරියගේ නිරුවත් ඡායාරූප ගෙන්වා‌‌ගෙන ඇති බවයි.

මීට වසරකට පමණ ඉහතදී මාතර – දික්වැල්ල ප්‍රදේශයේ වාසය කරන වයස අවුරුදු 15 ක පාසල් දැරියකට නාදුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

තරුණයෙකුගේ කටහඩින් පැමිණ ඇති අදාල දුරකථන ඇමතුම හරහා දැරිය අවස්ථා කිහිපයකදී සම්බන්ධ වී ඇති අතර පසුව ඔවුන් පෙම් සබඳතාවක් අරඹා තිබුනා.

වසරක පමණ කාලයක් පුරා මොවුන් දුරකථනය ඔස්සේ සබඳතාව පවත්වාගෙන ගොස් ඇති අතර ඒ අතරවාරයේ දැරියගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන දුරකථන ඇමතුම් ලබාදුන් තැනැත්තා විසින් ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, පෙම්වතා ලෙස පෙනී සිටි තැනැත්තා වට්ස්ඇප් ඔස්සේ ලබාගත් දුරකථන ඇමතුම්වලදී කිසිදු අවස්ථාවක ඔහුගේ මුහුණ පෙන්වා නැහැ.

මේ අතරතුර පාසල් දැරියට දැනගැනීමට ලැබී ඇත්තේ ඇගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට යොමු කර ඇති බවයි.

ඒ පිළිබඳ බිය වු දැරිය දුරකථන ඇමතුම් ලබාදුන් තැනැත්තාගේ ඇමතුම් මගහැර තිබුනා.

ඊට උරණ වු දුරකථන ඇමතුම් ලබාදුන් පුද්ගලයා දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වුවහොත් දැරියගේ පාසලට පැමිණ ඇගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර තිබෙනවා.

මේ පිළිබඳව දැරිය සිය දෙමාපියන් දැනුවත් කර මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කරනු ලැබ ඇතැයි සඳහන්.

ඒ් අනුව එම කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු නිලධාරීන් දැරියට ලැබුනු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී හෙළිව ඇත්තේ වසරක පමණ කාලයක් දැරියට දුරකථනය ඇමතුම් ලබාදෙමින් ඇගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇත්තේ වයස අවුරුදු 19 ක කාන්තාවක් බවයි.

ඇය කොළඹ ප්‍රදේශයේ ඇඟළුම් කම්හල් සේවිකාවක් වන අතර පොලිස් නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර – ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදී.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.