පේරාදෙණිය හා සරසවි උයන අතර මහවැලි ගඟ හරහා නව පාලමක්

මාතලේ දුම්රිය මාර්ගයේ පේරාදෙණිය හා සරසවි උයන අතර මහවැලි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙන බවට, අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා.

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා වන ඉන්දීය ණය යෝජනා ක්‍රමය මඟින් මූල්‍ය සහාය ලබාගනිමින්, මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ ඒකාබද්ධ කිරීමට හැකිවන පරිදි පේරාදෙණිය හා සරසවි උයන අතර මහවැලි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් මේ සඳහාවු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණා.

ඊට අමතරව මහනුවර මහනගර ප්‍රදේශය ආවරණය පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමේ අරමුණින් මේ වනවිට ශක්‍යතා අධ්‍යයනය සිදුකෙරෙමින් පවතිනවා. එම විෂය පථය මඟින් කඩුගන්නාව සිට පේරාදෙණිය හරහා ගම්පොල දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීම, පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා මාතලේ දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීම යන ව්‍යාපෘතීන්ද ඒ මඟින් සිදුකිරීමට නියමිත බවටත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස තවදුරටත් ප්‍රකාශ කරනවා.