සමාජ මාධ්ය තුළ ජනප්රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දෙමව්පියන් සහ වැඩිහිටියන් විසින් දරුවන් විවිධ අනතුරුදායක ක්රියාකාරකම් සඳහා යොදාගැනීමේ ඉහළ යාමක් වර්තමානයේ දක්නට ලැබෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්ය සරෝජා සාවිත්රි පෝල්රාජ් පවසනවා.
ඒ අනුව එම තත්ත්වය වැළැක්වීම වෙනුවෙන් නව නීති රීති හඳුන්වා දීමට කටයුතු කරන බවයි අමාත්යවරිය සඳහන් කළේ.
අනතුරුදායක ස්ථාන සහ අවදානම් සහිත ප්රදේශවල සංචාරය කරවීම, අසභ්ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට වඩාත් සුදුසු තේමාවන් හෝ අන්තරගතයන් සඳහා සඳහා දරුවන් යොමු කිරීම මෙන්ම දරුවන් ලිංගික වශයෙන් නිරාවරණය වන අන්තර්ගතයන් සඳහා යොදාගැනීම වැනි ක්රියාකාරකම් රැසක් මේ වන විට සමාජ මාධ්ය තුළ බහුලව වාර්තා වනවා.
තමන්ගේම දරුවා මෙලෙස අවදානමේ හෙළමින් මුදල් හෝ ජනප්රියත්වය සෙවීම තුළ දෙමව්පියන් ලෙස පෙනී සිටීමට ඇති සුදුසුකම පවා ප්රශ්නගත වන බව අමාත්යවරිය පෙන්වා දෙන්නේ.
දරුවෙකුගේ පෞද්ගලිකත්වය අවදානමේ හෙළීමට දෙමව්පියන්ට පවා අයිතියක් නොමැති අතර, යම් දරුවෙකුට ජනප්රියත්වය අවශ්යද නැද්ද යන්න තීරණය කළ යුත්තේ දෙමව්පියන් නොවන බව ද අමාත්යවරිය වැඩිදුරටත් අවධාරණය කරනවා.
එය එම දරුවා වැඩිහිටියෙකු බවට පත්ව තීරණ ගැනීමට තරම් මනසින් සහ වයසින් මුහුකුරා ගිය පසු ගතයුතු පෞද්ගලික තීරණයක් බව ද ඇය සඳහන් කරනවා.
එලෙස දෙමව්පියන්ගේ වගකීම් විරහිත සමාජ මාධ්ය භාවිතය හේතුවෙන් දැඩි ලෙස අවදානමට ලක්වන දරුවන් “අනාරක්ෂිත දරුවන්” ලෙස සැලකීමට සිදුවන බවත්, ඔවුන්ගේ සුභසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී එම දරුවන් ආරක්ෂිත භාරකාරත්වයන්ට පත්කිරීමට පවා කටයුතු කිරීමට සිදුවිය හැකි බවත් අමාත්යවරිය අවධාරණය කළා.
සමාජ මාධ්ය තුළ දරුවන් වාණිජමය හෝ කීර්තිනාම අපේක්ෂාවන් වෙනුවෙන් යොදාගැනීම වැළැක්වීම සඳහා ලොව පුරා රටවල් ද මේ වන විට දැඩි පියවර ගනිමින් සිටිනවා.
ලෝක ප්රකට සමාජ මාධ්ය ආයතන ද බාලවයස්කරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා දැඩි ප්රතිපත්ති හඳුන්වා දෙමින් සිටින අතර, ශ්රී ලංකාව ද මෙම නව මාර්ගෝපදේශ හරහා ඒ හා සමාන ආරක්ෂිත රාමුවක් ගොඩනැගීමට අපේක්ෂා කරනවා.
