ලොවපුරා කාන්තා අමාත්‍යවරුන් 2028දී විශේෂ වැඩකට ලංකාවට

පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරුන්ගේ රැස්වීම, පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්තිමය සංවාද පැවැත්වීමට, අත්දැකීම් හා යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීමට සහ සාමාජික රටවල් අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවස්ථාව සලසන ඉහළ මට්ටමේ අන්තර්ජාතික රැස්වීමක් වනවා.

එහි 14වන රැස්වීම මෙරට දී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් එකඟතාව පළ කර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

එම රැස්වීම සඳහා සාමාජික රටවල කාන්තා කටයුතු විෂය භාර අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, පිළිගත් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් සහ අදාළ හවුල්කාර ආයතනවල නියෝජිතයන් සහභාගි වීමට නියමිතයි.

ඒ අනුව, පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරුන්ගේ 14 වන රැස්වීම 2028 වර්ෂයේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.