රටේ පවතින සම්පත් නිසිලෙස තක්සේරු කිරීම රජයේ වගකීමක්-ජනපති

රට තුළ පවතින සම්පත් නිසි ලෙස තක්සේරු කිරීම රජය සතු වගකීමක් බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙරට ඛනිජ කර්මාන්තය සඳහා ශක්තිමත් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට අදාළ සැලසුම් සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (28) පෙරවරුවේ පැවැත්වුණා..

මෙහිදී ඛනිජ කර්මාන්තයට අදාළ ඉඩම් හඳුනා ගැනීම සහ ඛනිජ සංචිත හඳුනා ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය කෙරුණු අතර රට තුළ පවතින ඛනිජ සම්පත්වල විභවතාව කඩිනමින් හඳුනා ගත යුතු බවත් ඒ සඳහා ශක්තිමත් ආයෝජකයින් කැඳවා ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා විසින් මෙහිදී අවධාරණය කර තිබුණා.

කහටගහ සහ එප්පාවල යන ප්‍රදේශවල ගවේෂණ කටයුතුවල ප්‍රගතිය සහ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මඟින් ඛනිජ සංචිත සහ ගවේෂණ පිළිබඳව නිකුත් කරනු ලබන වාර්තා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වාර්තා බවට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව මෙන්ම, ඉදිරියේදී ඛනිජ සංචිත පිළිබඳ ගවේෂණ කටයුතු බාහිර විශේෂඥ පාර්ශ්ව වෙත පැවරීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු වුණා.

තවද, මැණික් කර්මාන්තය ආශ්‍රිත කැණීම් කටයුතු නිත්‍යනුකූලව සහ විධිමත්ව සිදු කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් මෙහිදී දැනුම් දී තිබුණා.

මැණික් අපනයනයේදී සිදුවන වංචා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද,  දේශීය මැණික් කර්මාන්තය නඟා සිටුවීම සහ විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ඉදිකෙරෙන මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය ද සාකච්ඡාවට ලක් වුණා.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර, ප්‍රතීත භූ විද්‍යාඥ සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එන්.බණ්ඩාර, සිතියම් හා භූ-තොරතුරු අධ්‍යක්ෂ ඩී.ටී.ඩී.එස්. විජේසුන්දර, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය එස්.පී.චමින්ද, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් හි  සභාපති ඊ.පී.ඒ. හේමලාල් යන  මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වූ බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කරනවා.